බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රවේශයට දක්වන දායකත්වය කෙබඳුද?

ක්‍රිෂාන් තිලකරත්න

2017 වසරේ ලෝක බැංකු Global Findex දත්ත වාර්තාවේ සඳහන් වන පරිදි, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 74% කට ආසන්න ප්‍රතිශතයක්, සිය මූල්‍ය අවශ්‍යතා සපුරා ගනු වස්, බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතනයන්හි සේවාව ලබා ගනී. එම අගය, සමස්ත දකුණු ආසියානු කලාපයේ සාමන්‍ය අගය ද ඉක්මවා යන ඉහළ අගයකි. (ඉන්දියාවේ මෙම ප්‍රතිශතය 36 ක් තරම් ඉතා පහළ අගයක පවතී.)

මෙරට බැංකු පද්ධතිය සලකා බැලූ කල, විවිධ බැංකු ශාඛා රට පුරා විහිදී තිබීම තුළින් ජනතාවට පහසුවෙන් මූල්‍ය ආයතන හා සම්බන්ධ වීමට අවකාශ සැලසී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ගණනය කිරීම්වලට අනුව, ශ්‍රී ලංකාව තුළ මුල්‍ය ගනුදෙනු  සිදු කිරීම සඳහා සෑම පුරවැසියන් 100 000 කට වානිජ බැංකු ශාඛා 16.5 ක් ඇත. ඒ අනුව, රටේ ජනගහනය අතර මූල්‍ය ආයතනවල ශාඛා පුළුල්ව විහිදී පවතී. එමෙන්ම, මෙරට වැඩිහිටි ජනගහනයෙන් 83% ක ප්‍රතිශතයක් බැංකු ගිණුම් පවත්වාගෙන යන     අතර, සමස්ත වැඩිහිටි කාන්තා ප්‍රතිශතයෙන් 80% කට වැඩි ප්‍රමාණයක් ඉතුරුම් ගිණුම් පවත්වාගෙන යති.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙහි කොඳු නාරටිය වශයෙන් සැලකෙන මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාවසායකයින් වැඩි පිරිසක්ද බැංකු හා මූල්‍ය ආයතනයන්හි සිය තැන්පතු පවත්වා ගෙන යති. එහෙත් මේ පිරිසගේ මූල්‍ය අවශ්‍යතාවන් විසඳා ගැනීමේ කාරණයේදී, ඔවුනට මෙන්ම, මූල්‍ය ආයතනවලටද අභියෝග රැසකට මුහුණ දීමට සිදුව තිබේ. ඒ ඔවුන්ගෙන් වැඩි පිරිසක්,‍්  ආදායම් පිරමිඩයේ පහළම ස්ථරයෙහි ලා සැලකෙන පිරිසක් වීම හේතුවෙන් විධිමත් මූල්‍ය ගනුදෙනු සඳහා ඔවුන් නුසුදුස්සන් වන බැවිනි. මෙම යථාර්ථය හඳුනා ගනිමින්, අද වන විට ශ්‍රී ලාංකීය මූල්‍ය ක්ෂේත්‍රය විශේෂයෙන් බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාවසායකයින් ඇතුළත්ව සමස්ත ජනයා, මූල්‍ය ක්ෂේත්‍රය හා අන්තර්ග්‍රහණය කර ගනිමින් මූල්‍ය දායකත්වය ලබා දීමට කටයුතු කරයි. 

2020 වසරේ මුල් කාල සීමාව වන විට, ශ්‍රී ලංකා මහ බැංකුව අදාළ අනෙකුත් පාර්ශව හා එක්ව, ශ්‍රී ලංකාවේ ජාතික මූල්‍ය සේවා උපාය මාර්ගික ප්‍රතිපත්ති මාලාව (NFIS) නම් ප්‍රකාශනය හඳුන්වා දීමට කටයුතු යොදා තිබිණි.  ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) සහාය ද  ශ්‍රී ලංකා මහ බැංකුව වෙත හිමි විණි. හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 2019 ඔක්තෝබර් මස සඳහන් කළ ආකාරයට, ‘ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයට එම ප්‍රතිපත්ති මාලාව හඳුන්වා දෙනු ලැබුවේ, සුවිශේෂී ප්‍රතිපත්තිමය කාරණා හතරක් යටතේ, එනම්  ඩිජිටල් මූල්‍ය සේවාවන් හා ගෙවීම්, MSME මූල්‍ය, පාරිභෝගික ආරක්ෂාව සහ මූල්‍ය සාක්ෂරතාවය මෙන්ම ධාරිතා වර්ධනය යනාදිය යටතේ, ශ්‍රී ලංකාවේ, ක්ෂුද්‍ර කුඩා පරිමාණ හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර  (MSME) බලගැන්වීමේ අරමුණින් මූල්‍ය දායකත්වය සැලසීම වර්ධනය කරනු උදෙසා’ ය.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වලින් 75% කට වඩා ප්‍රතිශතයකින් සමන්විත ක්ෂුද්‍ර කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර, රටේ ශ්‍රම බලකායෙන් 45% කට,‍ එනම්, පුද්ගලයින් මිලියන් 3.2 ක ට රැකියා සපයමින් දළ ජාතික නිෂ්පාදිතය වෙනුවෙන් 52% ක දායකත්වයක් දක්වයි. කෙසේ වෙතත්, මෙම ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට සිය ව්‍යාපාර කටයුතු ඉහළ නංවා ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රවේශයන් සලසා ගැනීමේදී බාධා රැසකටම මුහුණ දීමට සිදු වේ. ඒ ගනුදෙනු සඳහා අවශ්‍ය ඇපකර මෙන්ම, ඇතැම් විට බැංකු මගින් ඉල්ලා සිටින අත්‍යවශ්‍ය ලිපිලේඛන ආදිය නොමැතිවීම හේතුවෙනි. ඒ නිසාම, රටේ විධිමත් මූල්‍ය පද්ධතිය අතහැර  අවිධිමත් මූල්‍ය ආයතන හා ගනුදෙනු කිරීමට බොහෝ  ව්‍යාපාරිකයින් පෙළඹී සිටිනු දක්නට ලැබේ. එම තත්ත්වය වළක්වාලීම පිණිස, මෙම ව්‍යවසායකයින් හට මුල්‍ය පහසුකම් සැලසෙන, විධිමත්  ක්‍රමවේදයක් සකස් කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. එහෙත්, ඉහත ප්‍රකාශනය සම්බන්ධයෙන් විස්මය දනවන කරුණ නම්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාවසාය ඉහළ නැංවීම සඳහා , යම් යම්  සහනදායී වැඩසටහන් බැංකු මගින් ක්‍රියාත්මක කෙරෙන බවට එහි සඳහන් වෙතත්, එම ව්‍යාපාරිකයින් හට මූල්‍ය සේවාවන් සලසන ප්‍රබලම යාන්ත්‍රණය වන, බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රය පිළිබඳව, විශේෂයෙන්ම බලපත්‍රලාභී මූල්‍ය සමාගම් පිළිබඳ කිසිදු සටහනක් එතුළ අන්තර්ගත නොවීමයි.

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය  සමාගම් ක්ෂේත්‍රයේ විධිමත් හා අවිධිමත් යන අංශ ද්විත්වය මගින්ම, ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් 60% ක ප්‍රතිශතයක මූල්‍ය අවශ්‍යතා සුරක්ෂිත කිරීමට කටයුතු කෙරේ. බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ විධිමත් අංශය යනුවෙන් සැලකෙන්නේ, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් ය. මෙම බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ව්‍යාපාර වෙත සුරක්ෂිත මුල්‍ය සේවාවන් පිරි නමමින් සිදු කරන මැදිහත් වීම හේතුවෙන්, එම ව්‍යාපාර අවිධිමත් මූල්‍ය යාන්ත්‍රණයන්ට ගොදුරු වීම වැළකේ. බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නැංවීම පිණිස මූල්‍ය සේවාවන් පිරිනැමීමේදී මූල්‍ය ආයතන මුහුණ දෙන අවදානම නොතකා කටයුතු කිරීම විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයකි.

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගෙන් 50% ක පමණ ප්‍රතිශතයක් බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රය මගින්  මූල්‍ය සේවාවන් සලසා ගැනීම හේතුවෙන් විශාල රැකියා ප්‍රමාණයක් ද රට තුළ උත්පාදනය වී තිබේ. ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය වෙළෙඳ පොළ 100% ක්ම සමන්විත වන්නේ, රටෙහි  ආර්ථික අභිවෘද්ධිය උදෙසා තීරණාත්මක සාධකයක් වන, රුපියල් බිලියන 750 ක තැන්පතු පදනමක් සහිත ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයෙනි. එහි ණය ප්‍රදානයන් සඳහා වන වත්කම්වලින්  70% ක් සැපයෙන්නේ මහජන තැන්පතු මගින් වන අතර, ශ්‍රී ලංකාවේ මිලියන 3 කට වැඩි ගනුදෙනුකරුවන් පිරිසකට එමගින් මූල්‍ය සේවාවන් සැලසේ.

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රය,‍ විශේෂයෙන් බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර අංශය යා කරන විධිමත් ආයතනමය ක්ෂේත්‍රය ලෙසින්ද හැඳින්විය හැකිය. මෑතක පැවති මහජන සංසදයකදී මා විසින් පෙන්වා දුන් පරිදි, ලංකාවේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයෙහි, විශේෂයෙන් බලපත්‍රලාභී මූල්‍ය සමාගම්වල ප්‍රධානතම භූමිකාව නම්, එය මෙරට අඩු ආදායම්ලාභී ජනතාව මූල්‍ය ක්ෂේත්‍රය හා මුසු කිරීමේ බලසම්පන්න මෙවලමක් වීමයි. ඒ, අවදානම නොතකා  ඔවුන්ට ණය ප්‍රදානයන් පිරිනමමින් මූල්‍ය පද්ධතිය වෙත ඔවුන් ඇතුළත් කර ගැනීමේ පළමු පියවර තබන්නේ එම ක්ෂේත්‍රය වන බැවිනි.

මූල්‍ය ආයතන මගින් යමකුට ණය මුදලක් ලබා දීමට පෙර, ඔවුන්ගේ මූල්‍ය තත්ත්වය සොයා බැලීම සඳහා ලබා ගන්නා CRIB වාර්තාවලින් 55% ක්ම ලබා ගන්නේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රය හා බලපත්‍රලාභී මූල්‍ය සමාගම් විසිනි. මින් සනාථ වන්නේ, මෙම අංශයෙහි දායකත්වය සමස්ත ණය කළඹෙහි 10% ක ප්‍රතිශතයක් පමණක්ව තිබියදී, ණය ලබා දීමේ ක්‍රියාවලියේදී එම ක්ෂේත්‍රය දක්වන සක්‍රිය දායකත්වයයි. එමෙන්ම, ශ්‍රී ලංකාවේ ත්‍රීරෝද රථ වෙළෙඳ පොළෙන් 90%ක ප්‍රතිශතයකට, පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථවලින් 70% ක ප්‍රතිශතයකට, ට්‍රැක්ටර් හා කෘෂිකාර්මික උපකරණ වෙළඳපොළෙන් 75% කට සහ සැහැල්ලු ට්‍රක්රථ වැනි කුඩා ප්‍රවාහන වාහන වලින් 70% ක ප්‍රතිශතයකට මූල්‍ය ප්‍රතිපාදන සලසා දී ඇත්තේද බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයයි.

මෙම ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවාවන් සම්බන්ධයෙන් දක්වන සුවිශේෂී දක්වන දායකත්වය පිළිබිඹු කෙරෙන තවත් වැදගත් කාරණයක් නම්, මෙරට ආර්ථිකයෙහි කොඳු නාරටිය වශයෙන් කටයුතු කරන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් සිය මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා බැංකු නොවන මූල්‍ය සමාගම් ක්ෂේත්‍රය මත පමණක් යැපීමයි. මෙරට වාණිජ බැංකුවල වත්කම්, බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ වත්කම් වලට වඩා අට ගුණයකින් විශාල වුවද, විධිමත් බැංකු පද්ධතියට ළඟාවිය නොහැකි ආර්ථික පිරමිඩයේ පහළම සිටින පිරිස් වෙත අවදානම නොතකා මූල්‍ය සේවාවන් ලබාදීමට සමත්ව සිටින්නේ බැංකු නොවන මූල්‍ය සමාගම් ක්ෂේත්‍රයයි. ඒ හැරුණු විට, ශ්‍රී ලංකාවේ අවම ආදායම් මට්ටමක් ඇති පිරිස් වෙත මූල්‍ය සේවාවන් සැලසීම සඳහා වෙනත් කිසිදු විධිමත් මූල්‍ය යාන්ත්‍රණයක් තවමත් රට තුළ නොමැත. 

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමයෙහි (FHA) හි ඉතිහාසය

රට තුළ ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය (FHA), 1958 දී ආරම්භ කරන ලද The Ceylon Hire purchase & Finance Association හි අනුප්‍රාප්තික සංගමයයි. මූල්‍ය ආයතන සම්බන්ධයෙන් කිසිදු නියාමනයක් නොතිබුණු එකල ක්ෂේත්‍රයේ පැවති ගැටලු සාකච්ඡා කිරීම සඳහා එම සංගමය පිහිටුවා ගන්නා ලදී. මෙම සංගමය 1986 දී, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය (FHA) ලෙස නැවත නම් ලද අතර, වසර 62 කට වැඩි ස්වකීය ඉතිහාසය තුළ සිය මුල් අරමුණු පුළුල් කරමින් පුළුල් පරාසයක ක්‍රියාකාරකම් සිදු කිරීම පිණිස එය තවදුරටත් වර්ධනය වී තිබේ.

(මූල්‍ය කර්මාන්තයේ වසර 25 ක පළපුරුද්දක් ඇති මෙම ලිපියෙහි ලේඛකයා, FHA හි හිටපු සභාපතිවරයකු වේ.) 

Share

You may also like...