SLASSCOM සිය ප්‍රථම ඩිජිටල් වාර්ෂික මහ සභා රැස්වීම සාර්ථකව නිම කරයි

මෙරට දැනුම සහ නව්‍යකරණ ක්ෂේත්‍රයේ පෙරමුණෙහි පසුවන ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASSCOM) සිය ප්‍රථම ඩිජිටල් වාර්ෂික මහ සභා රැස්වීම 2020 ජුනි මස 30 වනදා Microsoft Teams ඔස්සේ පැවැත්වීය. මෙහිදී 2020/21 වර්ෂය සඳහා නව සභාපතිවරයා, අධ්‍යක්ෂක මණ්ඩලය සහ මහා මණ්ඩලය තෝරා පත් කර ගැනිණි.

දස වසරකට පෙර කුඩාවට ආරම්භ වූ SLASSCOM අද වන විට දැනුම සහ නව්‍යකරණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ පෙරමුණෙහි පසුවන අතර වර්තමානය වන විට, තොරතුරු තාක්ෂණ (IT) හා ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (BPM) ක්ෂේත්‍රය ප්‍රවර්ධනයේ මූලික කාර්යභාරයක් ඉටු කරයි.  SLASSCOM මගින් ක්ෂේත්‍රයේ ඉහළ කුසලතාවන් සහිත කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම, කුසලතා පූර්ණ දක්ෂයින්ගේ සංචිත පුළුල් කිරීම සහ ඔවුන්ගේ කුසලතාවන් තවත් ඉහළ නැංවීම, ක්ෂේත්‍රයේ ඉදිරි ගමන උදෙසා එකී ක්ෂේත්‍රයේ මෙන්ම, රජය සහ අධ්‍යාපන ආයතන අතර ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩ නැංවීම සඳහා මහඟු දායකත්වයක් දක්වා ඇත. තේරී පත් වූ නව සභාපතිවරයාට සහ කණ්ඩායමට සුභ පැතුම් එක්කරන අතරම SLASSCOM මගින් ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා සිදු කරන සිය දායකත්වය ඉදිරියටත් සැපයීමටත් ව්‍යාපාර සඳහා බුද්ධිමය සේවා සැපයීම, බුද්ධිමය දේපළ සැලසුම්කරණය හා නිර්මාණකරණයේ විශිෂ්ටයෙකු ලෙස ශ්‍රී ලංකාව ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමටත් හැකියාව ලැබේවා යි තමා ප්‍රාර්ථනා කරන බව හිටපු සභාපති රනිල් රාජපක්ෂ මහතා අදහස් දක්වමින් පැවසීය.

නව සභාපතිවරයා ලෙස චන්න මනෝහරන් මහතා පත්කර ගනු ලැබුණු අතර අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් සැන්ඩ්‍රා ද සොයිසා පළමු උප සභාපතිනිය ලෙසත්, අශික් අලි දෙවැනි උප සභාපති ලෙසත්, ෂෙවාන් ගුණතිලක මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙසත්, ජෙහාන් පෙරින්පනායගම් මූල්‍ය අධ්‍යක්ෂ ලෙසත් පත්කෙරුණු අතර, ඊට අමතරව හරිඳු අබේගුණරත්න, නුවන් පෙරේරා, නිෂාන් මෙන්ඩිස්, ෂෙහානි සෙනෙවිරත්න, ෂිරාස් ලයි, බොෂාන් දයාරත්න සහ අනුර ද අල්විස් ආදීහු ද තනතුරුධාරීන් ලෙස පත් කෙරිණි.

චන්න මනෝහරන් මහතා සහභාගි වූවන් අමතමින්,  SLASSCOM හි සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට ලැබීම සුවිසල් ගෞරවයක් සහ වරප්‍රසාදයක් ලෙස සලකන බවත්, අභියෝගාත්මක කාලවලදී  අනාගතය උදෙසා ව්‍යාපාර සහ සංවිධාන ගොඩනැගීම හා  ප්‍රවර්ධනය සඳහා ව්‍යාපාරයේ  සේවාදායකයින්ට අදාළ සහාය දීම අරමුණ බවත්  මූලික වෙළෙඳ පොළෙහි ඇති ව්‍යාපාර වේගයෙන් ඩිජිටල්කරණය වීම සලකන විට සිය ව්‍යාපාර ක්ෂේත්‍ර සඳහා පැහැදිලි හා සුබවාදී අනාගතයක් ඇති බවට තමා විශ්වාස කරන බවද පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ චන්න මනෝහරන් මහතා පැවසුවේ, වෙළෙඳ පොළ පුළුල් කිරීම,  මෙරට පවතින බුද්ධිමය දේපළ සැලසුම්කරණ හා නිර්මාණකරණ ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය හා අනාගතයේ බිහිවන නව ව්‍යාපාර සඳහා සුදුසු අවස්ථා සකස් කිරීම ආදිය පිළිබඳව වැඩි අවධානයක් දැක්වීමට තමා අදහස් කරන බවයි. රාජ්‍ය අංශය හා අධ්‍යාපන ක්ෂේත්‍රය සමග නව එකඟතා ගොඩනගා ගනිමින් අන්තර්ජාතික සන්නාම මෙරටට ගෙන ඒමටත් ක්ෂේත්‍රයට අවශ්‍ය වන කුසලතාවයන්ගෙන් සමන්විත පිරිසක් බිහි කිරීම සඳහා අදාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමටත් බලාපොරොත්තු වන බවත් ය.

SLASSCOM හි මහා මණ්ඩලය සඳහා සාමාජික සමාගම් මගින් නාමයෝජනා ඉදිරිපත් කෙරිණි. 2020/21 වර්ෂය සඳහා මහා මණ්ඩලය; සම්පත් ජයසුන්දර, මුදිත් උස්වත්ත, ශානක ප්‍රනාන්දු, රොහාන් ප්‍රනාන්දු, චමිල් ජීවන්ත, ෂෙහාන් කුමාර්, සිසිර කුමාර, ජනිත් ගුණසේකර, හසිත් යග්ගහවිට, ෂෙහාන් සෙල්වනායගම්, ඩිලීෂ රාජපක්ෂ, ජගත් ද සිල්වා, මංගල පෙරේරා, තරිඳු අධිකාරි, රහල් ජයවර්ධන, ගෙහාන් ඩයස්, හරේෂ් පෙරේරා, තරින්ද්‍ර ජයමහ, ප්‍රියන්ත බෙත්මගේ, ෆෙරෝස් කාදර් සහ සන්හර්ෂ ජයතිස්ස වේ.

අපි ඔවුන්ට සාර්ථක වසරක් ප්‍රාර්ථනා කරමු.

SLASSCOM පිළිබඳව

ශ්‍රී ලංකාවේ දැනුම සහ නව්‍යකරණ ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවයක් වන SLASSCOM, වෙළෙඳ සහ ව්‍යාපාර සඳහා පහසුකම් සැලසීම, අධ්‍යාපන සහ වෘත්තීය ව්‍යාප්තිය, පර්යේෂණ සහ නවීකරණයේ දිරිගැන්වීම, තොරතුරු තාක්ෂණය (IT) හා ව්‍යාපාර ක්‍රියාවලි කළමණාකරණය (BPM) ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා ප්‍රගතිශීලී ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමෙහිලා සහාය වීම ආදියෙහිදී සක්‍රීයව ක්‍රියා කරයි. අනාගත ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉපයීම අතින් ප්‍රමුඛ ස්ථානයකට පැමිණීමට SLASSCOM හට හැකියාව ඇති අතර එය අරමුණු කරගත් කල්පිත ආර්ථිකයක් වෙනුවෙන් SLASSCOM   සිය ව්‍යාපාර කටයුතු සහ මෙහෙයුම් ආදිය ඉදිරියටත් සිදු කරනු ඇත.

Share

You may also like...