දේශීය ඉංජිනේරු ශිල්පය ගෝලීය තලයට රැගෙන යමින් Alumex PLC සහ මොරටුව විශ්වවිද්‍යාලයේ Falcon Racing කණ්ඩායම අත්වැල් බැඳගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලුමිනියම් ආස්තරණ නිෂ්පාදන සන්නාමය මෙන්ම Hayleys PLC සමූහයේ  සාමාජිකයෙකු වන Alumex PLC, මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් සම්පූර්ණයෙන්ම නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද ‘FALCON E1’ මීළඟ පරම්පරාවේ විද්‍යුත් රේසිං මෝටර් රථය එළිදැක්වීමේ ‘Unleashed 2026’ උළෙලෙහි නිල අමුද්‍රව්‍ය අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය.

2026 මාර්තු 4 වන දින මොරටුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වූ මෙම උත්සවය, ශ්‍රී ලංකාවේ ඉංජිනේරු නවෝත්පාදන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. විශ්වවිද්‍යාලයේ Team Falcon Racing කණ්ඩායම විසින් දියුණු කරන ලද FALCON E1 රථය, උසස් ඉංජිනේරු සැලසුම්, නිරවද්‍ය නිෂ්පාදන ශිල්පීය ක්‍රම සහ නවීනතම විද්‍යුත් වාහන තාක්ෂණය භාවිතයෙන් මුල සිටම නිපදවන ලද නවතම විද්‍යුත් රේසිං රථයකි.

මෙම ව්‍යාපෘතියේ නිල අමුද්‍රව්‍ය අනුග්‍රාහකයා ලෙස Alumex සමාගම, වාහනයේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කිලෝග්‍රෑම් 650ක් පමණ බරැති ඇලුමිනියම් උපාංග ඇතුළු තීරණාත්මක අමුද්‍රව්‍ය සැපයීය. මීට අමතරව, ධාවන තත්ත්ව යටතේ අවශ්‍ය වන ව්‍යුහාත්මක අඛණ්ඩතාව පවත්වා ගනිමින් වාහනයේ බරට සාපේක්ෂව බලය වැඩි කිරීම සඳහා (power to weight ratio), යන්ත්‍රගත කරන ලද උපාංග සඳහා විශේෂිත ඇනෝඩයිසින් (Anodizing) සේවාවන් ද සමාගම විසින් සපයන ලදී.

ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ඉංජිනේරු නවෝත්පාදන පද්ධතියට අඛණ්ඩව සහයෝගය දක්වන Alumex සමාගම, මෙරට විද්‍යුත් රේසිං වාහන නිෂ්පාදනය සඳහා සහය දැක්වූ අඛණ්ඩ තෙවන අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රමුක් දැදිවෙල මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. “Falcon Racing කණ්ඩායමට සහ FALCON E1 රථයට සහයෝගය දැක්වීම තුළින් පිළිබිඹු වන්නේ මීළඟ පරම්පරාවේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් සවිබල ගැන්වීමට Alumex සතු කැපවීමයි. නවෝත්පාදනයන් බිහිවන්නේ නිර්භීත අදහස් සහ ඒවා යථාර්ථයක් බවට පත්කිරීමට ඇති ධෛර්යය මත බව අපි විශ්වාස කරමු. ශ්‍රී ලංකාවට ගෝලීය ඉංජිනේරු වේදිකාවල තරඟ කිරීමේ හැකියාව සහ දක්ෂතාවය ඇති බව මෙම තරුණ නවෝත්පාදකයින් ඔප්පු කර තිබෙනවා.”

උසස් තත්ත්වයේ ඇලුමිනියම් අමුද්‍රව්‍ය සහ තාක්ෂණික සේවාවන් සැපයීම හරහා, වාහනයේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය නිරවද්‍ය උපාංග නිෂ්පාදනය කිරීමට Falcon Racing කණ්ඩායමට Alumex වෙතින් විශාල දායකත්වයක් ලැබුණි. මෙම වාහනය මේ වසරේ අගභාගයේ දී ස්පාඤ්ඤයේ ‘Circuit de Barcelona-Catalunya’ ෆෝමියුලා 1 ධාවන පථයේ පැවැත්වීමට නියමිත ලෝක ප්‍රකට Formula Student Spain (FSS) තරඟාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිතය.

FALCON E1 හි තාක්ෂණික තොරතුරු

  • බර: කිලෝග්‍රෑම් 245
  • මෝටරය: චැසිය මත සවිකළ තනි මෝටරය (Single chassis-mounted motor)
  • උපරිම පද්ධති වෝල්ටීයතාව: 300V DC
  • උපරිම බල ප්‍රතිදානය: 72 kW
  • බැටරි ධාරිතාව (Accumulator): 7.99 kWh
  • සම්ප්‍රේෂණ අනුපාතය (Transmission ratio): 2.8
  • අත්හිටුවීමේ පද්ධතිය (Suspension): Double unequal A-arms with push-rod configuration

ලොව ප්‍රමුඛතම විශ්වවිද්‍යාල ඉංජිනේරු කණ්ඩායම් අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් FALCON E1 ජාත්‍යන්තර තලයට ගෙන යාමට Falcon Racing කණ්ඩායම මේ වන විට සූදානම් වෙමින් සිටී. මෙම වැඩපිළිවෙළ මගින් ශ්‍රී ලංකාවේ ඉංජිනේරු ක්ෂේත්‍රය නගාසිටුවීමට සහ ගෝලීය තාක්ෂණික වේදිකාවල තරඟ කරන සිසුන්ට සහය වීමට කර්මාන්ත සහයෝගීතාවයේ ඇති වැදගත්කම මැනවින් පැහැදිලි කරයි.

Share

You may also like...