ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය – 2025 උත්කර්ෂවත් ලෙසින් පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ආකර්ෂණීයත්වය දිනූ,  සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය අති උත්කර්ෂවත් ලෙස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. වසර 06ක විරාමයකින් පසුව පැවති මෙම ප්‍රදර්ශනය, බොහෝ දෙනෙකුගේ ඉහළ අවධානයක්  දිනා ගනිමින්  ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම ප්‍රබල මෝටර් රථ ප්‍රදර්ශනය ලෙසින්  2025 ඔක්තෝබර් 24 සිට 26 දක්වා පැවැත්විණි.

අලුතින් ඉදිකරන ලද Western Car Park Halls තුළ පැවැත්වුණු පළමු මෝටර් රථ ප්‍රදර්ශනය වන්නේ මෙයයි. සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) සහ ක්ලැසික් කාර් සමාජය (CCCC) විසින් සංවිධානය කළ මෙහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී කටයුතු කරන ලදී.

දින තුනක් පුරා පැවති මෙම ප්‍රදර්ශනය කර්මාන්ත ප්‍රමුඛයින්ගෙන් හා ගෝලීය මෝටර් රථ සන්නාමයන්ගෙන් කැපී පෙනුණු අතර, ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කරන ලද විශාලතම වාහන ප්‍රදර්ශනය මෙහි දී ඉදිරිපත් කළේය.  ඔවුන්ගේ බලයලත් වෙළෙඳ හිමිකරුවන් නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ ගෝලීය සන්නාම 30කට වැඩි ගණනක සෙඩාන් රථ, SUV රථවල සිට යතුරුපැදි, ට්‍රක් රථ සහ පුළුල් පරාසයක මෝටර් රථ උපාංග මෙම ප්‍රදර්ශනයේ ඇතුළත් විය.

2025 ප්‍රදර්ශනයේ ප්‍රධාන විශේෂත්වයක් වූයේ අනාගත ගමනාගමන අවශ්‍යතාවන් කෙරෙහි අවධානය යොමු කිරීමයි. නව විද්‍යුත් සහ හයිබ්‍රිඩ් වාහන ඇතුළු අනෙකුත් නවීන නවෝත්පාදනයන් මීට ඇතුළත් වූ අතර නරඹන්නන්හට එම නවෝත්පාදනයන් පිළිබඳ ප්‍රථම අත්දැකීමක් ද ලබා දෙන ලදී.

ප්‍රදර්ශනයට වැඩි අගයක් එක් කරමින්, ක්ලැසික් කාර් ක්ලබ් ඔෆ් සිලෝන් විසින් මෙරට මෙතෙක් ප්‍රදර්ශනය කළ විශාලතම ක්ලැසික් සහ පැරණි මෝටර් රථ එකතුව ඉදිරිපත් කළ අතර, එහි සුවිශේෂී වාහන 150කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් විය. මෙම වාහනවල ඉතිහාසය සහ ශිල්පීය කුසලතාව පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා  හිමිකරුවන් සහ මෝටර් රථ ක්ෂේත්‍රයේ විශේෂඥයන් සමග සම්බන්ධ වීමට ද මෙහි දී නරඹන්නන්හට අවස්ථාව ලැබිණි.

සිලෝන් මෝටර් ප්‍රදර්ශනය 2025 සාර්ථක කර ගැනීමට නිල ගුවන්විදුලි සහ රූපවාහිනී සහකරු ලෙස කැපිටල් මහරාජා සමුහයත්, නිල මුද්‍රිත මාධ්‍ය සහකරු ලෙස  විජය පුවත්පත් සමාගම, සහ නිල එළිමහන් ඩිජිටල් සංඥා සහකරු ලෙස Emerging Media ද සිය දායකත්වය ලබා දෙන ලදී.

ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ සමෘද්ධිමත් බව වෙනුවෙන් ශක්තිය සපයන,  නවෝත්පාදනය, උරුමය හා උද්‍යෝගය සමරන සන්ධිස්ථානීය අවස්ථාවක් ලෙස සිලෝන් මෝටර් රථ ප්‍රදර්ශනය 2025 සාර්ථකව පැවැත්විණි.

Share

You may also like...