යුනිලිවර් uStore.lk, Uber Eats සහ Celeste Daily සමඟ සහයෝගීතාවයකට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි, නිල   ඊ-වාණිජ්‍යය (E- Commerce) වෙබ් අඩවිය වන uStore.lk විසින් Uber Eats සහ Celeste Daily සමඟ සහයෝගීතාවයකට එළඹීම පසුගියදා සිදුවීය. මෙම සහයෝගීත්වයේ මූලික අරමුණ වනුයේ පාරිභෝගිකයන්ගේ සිල්ලර හා සාප්පු භාණ්ඩ මිලදීගැනීමේ සේවාව වඩාත් පහසු, අවබෝධාත්මක හා විශ්වාසවන්ත අත්දැකීමක් බවට පත්කිරීමයි. එසේම මෙම සහයෝගීත්වය මඟින් Uber Eats හරහා Ustore.lk වෙත වඩාත් පහසුවෙන් ප්‍රවේශවීමේ හැකියාව පාරිභෝගිකයන් වෙත ලබාදීම සිදුකරයි.

Uber Eats හි uStore.lk වෙත පිවිස පාරිභෝගිකයාට භාණ්ඩ ඇණවුම් කිරීමේ හැකියාව ලැබෙන අතර කොළඹ 06 හි පිහිටි ඇති Celeste Daily වෙළෙඳසැලේ සිට කිලෝමීටර් 6.5 දුරක් තුළ, මිනිත්තු 30 කාලයක් ඇතුළත පාරිභෝගිකයා වෙත ඇණවුම් කරන ලද භාණ්ඩ බෙදාහැරීම ද මෙහිදී සිදුවේ. මෙම වේගවත් බෙදාහැරීමේ සේවාව හරහා uStore.lk හි උසස් තත්ත්වයේ නිෂ්පාදනයන් වඩාත් ගුණාත්මක, ආරක්ෂිත හා පහසු ක්‍රියාවලියක් යටතේ පාරිභෝගිකයාගේ නිවසටම ලබාදීම සිදුවේ.

මෙරට ඩිජිටල්කරණ උපාංග හා සේවාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් යුතුව යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශයක් සමඟින් මෙම uStore.lk ක්‍රියාත්මක කරනු ලබයි. 2019 වසරේ දී ආරම්භ කරන ලද මෙම uStore.lk වෙබ් අඩවිය පාරිභෝගිකයන්ගේ අන්තර්ජාල සාප්පු සවාරි අත්දැකීම වඩාත් පහසු හා සරල කිරීමේ අරමුණ සහිතව නිරන්තරයෙන්ම විවිධ වැඩිදියුණු කිරීම්වලට ද ලක්වීය.

මෙම උපායමාර්ගික සහයෝගීත්වය පිළිබඳව යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ පාරිභෝගික සංවර්ධන අධ්‍යක්ෂ භාතිය දයාරත්න මහතා මෙසේ සිය අදහස් පළ කළේය. ‘’uStore.lk වෙත පාරිභෝගිකයන්ගේ ප්‍රවේශය වර්ධනය කිරීම සහ රට තුළ බෙදාහැරීමේ ජාලය පුළුල් කිරීමේ අපගේ ඉලක්කය වෙනුවෙන් විශ්වාසදායී හවුල්කරුවන් දෙපළක් වන Uber Eats සහ Celeste Daily සමඟ සහයෝගීත්වයට එළඹීමට හැකිවීම පිළිබඳව අප බෙහෙවින් සතුටට පත්වෙමු. බොහොමයක් පාරිභෝගිකයන්ගේ වර්තමාන කාර්යබහුල ජිවන රටාව තුළ සිල්ලර භාණ්ඩ සිය නිවස වෙත ඇණවුම් කරගැනීමේ ක්‍රියාවලියට අද වනවිට යොමුවී ඇති බැවින්, uStore.lk වැඩිදියුණු කරන ලද විශේෂාංගයන් සමඟින් පාරිභෝගිකයාගේ සාප්පු සවාරි ඇත්දැකීම වඩාත් පහසු කිරීම සඳහා අපි කැප වී කටයුතු කරනු ලබනවා. අපගේ මෙම සහයෝගීත්වය දිනෙන් දින ශක්තිමත්ව වර්ධනය වනු දැකීම අප සැමගේ බලාපොරොත්තුවයි.’’

Jaysons Group of Companies හි සාමාජිකයෙකු වන Celeste Daily, පසුගිය වසර තුන තුළ Uber Eats හරහා පාරිභෝගිකයින් 50,000 කට පමණ සිය සේවා සැපයීම සිදුකර ඇත. එසේම Celeste Daily විසින් Uber Eats හි uStore.lk සඳහා භාණ්ඩ අවශ්‍යතා සපුරාලීමේ සහකරු ලෙස අත්‍යවශ්‍ය මෙහෙයුම් සහාය ලබාදෙනු ලබයි. පාරිභෝගිකයාගෙන් ලබාගන්නා සියලුම ඇණවුම් සඳහා සුමට හා කාර්යක්ෂම ක්‍රියාවලියක් සහතික කිරීමට Celeste Daily නිරතුරුවම කැපවී කටයුතු කරනු ලබයි.

Celeste Daily වසර ගණනාවක් පුරා සිය අත්දැකීම්, සේවාවන් තුළින් නියමිත කාලසීමාව තුළ භාණ්ඩ බෙදාහැරීම පිළිබඳව පාරිභෝගික විශ්වාසය දිනාගෙන තිබේ. සුවිශේෂී සාප්පු සවාරි අත්දැකීමක් මෙරට පාරිභෝගිකයන් වෙත ලබාදෙමින් uStore.lk හරහා මිනිත්තු 30ක් වැනි කෙටි කාලසීමාවක් තුළ සිය ඇණවුම් ලබාගැනීමේ හැකියාව පාරිභෝගිකයා වෙත ලබාදී තිබේ.  වාණිජ ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් අරමුණ කරගත් මෙම සහයෝගීත්වය තුළින් පාරිභෝගිකයා වෙත අසමසම අත්දැකීමක් ලබාදීමට Celeste Daily සහ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම නිරතුරුවම කටයුතු කරයි.

Jaysons Retail Pvt Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ සහ Celeste Daily හි නිර්මාතෘ ජනික් ජයසූරිය මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “නිෂ්පාදන කඩිනමින් බෙදාහැරීම සහ පාරිභෝගික තෘප්තිය ප්‍රශස්ත මට්ටමින් ලබා දීම සහතික කිරීම සඳහා යුනිලීවර් ශ්‍රී ලංකා සහ Uber Eats සමඟ සහයෝගීත්වයකට එළඹීමට හැකිවිම ගැන අපි සතුටට පත්වෙනවා. කඩිනම් සේවාව සහ නිරවද්‍යතාවය Celeste Daily හි ව්‍යාපාර ක්‍රමෝපායන්ගේ මූලික පදනම වන බැවින්, බාධාවකින් තොරව භාණ්ඩ තොග සහ බෙදාහැරීමේ ක්‍රියාවලිය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය පද්ධතීන් වෙනුවෙන් අප ආයෝජන සිදුකර ඇත. ඒ හරහා uStore.lk හි උත්සහයන් සඵල කරගැනීමට හැකිවනු ඇතැයි අපි නිසැකවම විශ්වාස කරමු.’’

Uber Eats ශ්‍රී ලංකා හි සාමාන්‍යාධිකාරී වරුන් විජේවර්ධන මහතා මෙසේ සිය අදහස් දැක්වීය.Uber Eats, පාරිභෝගිකයන් සඳහා වඩාත් පහසු අත්දැකීමක් ලබාදීම සඳහා නිරතුරුවම කටයුතු කරන අතර, මෙම  සහයෝගීත්වය ශ්‍රී ලංකාවේ වෙළෙඳපල තුළ අපගේ පැවැත්ම තවදුරටත් තහවුරු කළ අවස්ථාවක් ලෙස සළකන්න පුළුවන්. අපගේ වැඩිදියුණු කරන ලද තාක්ෂණය සහ ආධාරක පද්ධති තුළින් හවුල්කරුවන් සමඟ උපාය මාර්ගික අවස්ථා සඳහා අප නිරතුරුවම ආයෝජන සිදු කරනවා. එසේම Celeste Daily සමඟ ඇති සහයෝගීතාවය හරහා  පාරිභෝගිකයා හට සිය අවශ්‍යතාවය මත යුනිලිවර් නිෂ්පාදනයන්  මිලදී ගැනීමේ හැකියාව ලබාදී තිබෙනවා. “

වර්තමානය වනවිට ගෝලීය ප්‍රවණතාවයක් ලෙස අන්තර්ජාල මිලදී ගැනීම් වෙත පාරිභෝගිකයින් යොමු වී තිබේ. Uber Eats ලොව පුරා මෙම ආහාර සහ සිල්ලර භාණ්ඩ බෙදාහැරීමේ ඩිජිටල් විප්ලවයේ පුරෝගාමීයා බවට පත්වෙමින් ප්‍රමිතිගතව එය ක්‍රියාත්මක කරනු ලබයි. මේ නිසාම ඊ – වාණිජ කර්මාන්තය පාරිභෝගික පහසුව හා අවශ්‍ය , උවමනා පදනම් කරගෙන වෙනස්කම් වලට භාජනය වී ඇති අතර පුළුල් පරාසයක භාණ්ඩ හා සේවා වෙත පහසුවෙන් ප්‍රවේශවීමේ හැකියාව ස්ථාපනය කර තිබේ. මෙම යාවත්කාලීනවීම ශ්‍රී ලාංකීක පාරිභෝගිකයන් තූළ ද පවතින අතර ඩිජිටල් ක්‍රමෝපායන් පිළිබඳව අවබෝධය හා තාක්ෂණික දැනුම මෙන්ම අන්තර්ජාලය ආශ්‍රිත මිලදීගැනීම් වර්තමානය වනවිට කැපීපෙනන ලෙස වර්ධනය වී තිබේ.

Share

You may also like...