දේශීය කිරි ගොවි ප්‍රජාව වෙනුවෙන් පැල්වත්ත සමාගම නවීන තාක්ෂණික පුහුණු වැඩසටහන් මාලාවක් සංවිධානය කරයි

රටට වටිනා විදේශීය විනිමයක් ඉතිරි කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත සමාගම විසින් දේශීය කිරි ගොවින්ගේ තාක්ෂණික දැනුම සංවර්ධන කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ පළමුවරට කෘත්‍රිම බුද්ධිය පදනම් කරගත් පුහුණු සැසි මාලාවක් සංවිධානය කිරීමට කටයුතු කර තිබේ.

මෙම පුහුණු වැඩසටහනේ මූලික අරමුණ වනුයේ දිනෙන් දින වර්ධනය වන කිරි ගොවිතැන ආශ්‍රිත ගෝලීය දැනුම හා භාවිතයන් පිළිබඳව මෙරට ගොවි ප්‍රජාවගේ දැනුවත්භාවය වර්ධනය කිරීමයි.

පැල්වත්ත සමාගමේ සභාපති ආරියශිල වික්‍රමනායක මහතා මෙම පුහුණු වැඩසටහන පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. ” කිරි ගොවින් යනු නිෂ්පාදන ක්‍රියාවලියේ මූලික කොටසක්. අද වනවිට පැල්වත්ත සමාගම දේශීය කිරි කර්මාන්තයේ ප්‍රමුඛයා බවට පත්වී තිබෙන්නේ ගොවි ප්‍රජාවගෙන් අපිට ලැබුණු සහයෝගය නිසයි. නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ආරම්භයේ සිට අවසානය දක්වාම ගොවි ප්‍රජාවගේ දායකත්වය අපිට අඛණ්ඩව හිමිවෙනවා. ඒ නිසා ඔවුන්ගේ හැකියාවන් තවදුරටත් සංවර්ධනය කිරීම අනාගත දේශීය කිරි කර්මාන්තයේ යහපැවැත්මට වටිනා දායකත්වයක් ලබාදෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. අතීතයේ පටන් වර්තමානය දක්වා මෙරට කිරි කර්මාන්තය දිගු ගමනක් පැමිණ තිබෙනවා. නව ප්‍රවීණතා අධ්‍යයනය කරමින් ඩිජිටල්කරණය වැනි සංකල්ප වලට කිරි ගොවින් යොමුවීම අතවශ්‍ය කරුණක් බවට අපි හඳුනාගෙන තිබෙනවා. මෙහිදී ගවයන් කළමනාකරණය කිරීමේදී විද්‍යුත් ටැග් භාවිතා කිරීම, ගවයන්ගේ සෞඛ්‍ය නිරීක්ෂණය කිරීම මෙන්ම ගවයන්ට ලබාදෙන ආහාර මට්ටම් නියමිත අයුරින් නිර්මාණය කරගැනීම, නවීන තාක්ෂණික භාවිතයන් යොදාගන්නා ආකාරය පිළිබඳ දැනුම ලබාදීම මෙම වැඩසටහන හරහා අපි අපේක්ෂා කරනු ලබනවා.”  

“මෙහි පළමු වැඩමුළු මාලාව ලෙස මාස 4 කාලයක් ගොවින් 120 -150 සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ මඟින් වඩා ඵලදායී කළමනාකරණ පිළිවෙත් හා නවීන කෘෂිකර්ම ක්‍රමෝපායන් භාවිතය පිළිබඳව ඔවුන් අවබෝධයක් ලබාගනු ඇතැයි අපේ විශ්වාසයයි. ශ්‍රී ලංකාවේ පළමුවරට කෘත්‍රිම බුද්ධිය වැනි අධි තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කිරීම පිළිබඳව මෙරට ගොවි ප්‍රජාවට දැනුම ලබාදීම මෙම වැඩසටහනේ දී සිදුවන ප්‍රධාන කරුණක් ලෙස සලකන්න පුළුවන්.ගොවීන්ට තම පුහුණු කාලය තුළ නවීන තාක්ෂණය යොදාගනිමින් ගව පාලනය සිදුකරන ආකාරය පිළිබඳව අවබෝධයක් ද මෙහිදි ලබාදෙනු ලබනවා. ලාභදායී ක්‍රමවේදයන් යොදාගනිමින් උසස් තත්ත්වයේ කිරි නිෂ්පාදනයක් සිදුකරන ආකාරය පිළිබඳ පුහුණුවක් ලබාදෙන අතර තම ව්‍යාපාර තනිව මෙහෙවීමට අවශ්‍ය කරන ගිණුම්කරණ දැනුම ද මෙම වැඩසටහන මඟින් ලබාදෙනු ලැබේ. මෙම පුහුණු වැඩසටහන මඟින් පැල්වත්ත සමාගම හා ගොවී ප්‍රජාව අතර පවතින බැඳිම තවත් ශක්තිමත් වනු ඇතැයි අපි විශ්වාස කරන අතරම උසස් තත්ත්වයේ කිරි නිෂ්පාදනයක් පාරිභෝගිකයා වෙත ලබාදීම සඳහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම ද ගොවි ප්‍රජාව වෙත ලබාදීමට අපි කටයුතු කරනු ලබනවා.”

ඉදිරි සති කිහිපය තුළ පැල්වත්ත සමාගම සිය සම්පත් සපයන්නන් හා ගොවි ප්‍රජාව සමඟ එක්ව මෙම පුහුණු වැඩසටහන ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කර තිබේ.

Share

You may also like...