ශ්‍රී ලංකා ආයෝජන සමුළුව – 2026 තාවකාලිකව අත්හිටුවීම පිළිබඳ මාධ්‍ය නිවේදනය

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI), යුරෝපා සංගමය (EU), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ආසියා පැසිෆික් කලාපය සඳහා වන එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කොමිසම (UNESCAP) යන ආයතනවල සහයෝගීත්වයෙන් 2026 මාර්තු 30 වන දින පැවැත්වීමට නියමිතව තිබූ “ශ්‍රී ලංකා ආයෝජන සමුළුව 2026” තාවකාලිකව අත්හිටුවා ඇති බව අපි සමඟ ලියාපදිංචි වූ සාමාජිකයන්ට සහ සියලුම පාර්ශවකරුවන්ට මෙයින් දන්වා සිටිමු.

වර්තමානයේදී ගෝලීය වශයෙන් උද්ගතව ඇති තත්ත්වයන් මෙන්ම එමඟින් ජාත්‍යන්තර ගුවන් ගමන් සහ සැපයුම් දාම කෙරෙහි එල්ල වී ඇති බලපෑම සැළකිල්ලට ගනිමින්, මෙම සමුළුව ඉදිරි දිනක පැවැත්වීමේ තීරණයකට එළඹීමට අපි කටයුතු කළෙමු. වඩාත් හිතකර ගෝලීය වාතාවරණයක් යටතේ මෙම සමුළුව පැවැත්වීම තුළින් වඩාත් ඵලදායී සහ ඉලක්කගත සාකච්ඡා සඳහා අවස්ථාව සැලසෙනු ඇතැයි අපි විශ්වාස කරමු. ශ්‍රී ලංකාවේ පාර්ශවකරුවන් සහ ජාත්‍යන්තර ආයෝජකයන් අතර අර්ථවත් සම්බන්ධතාවයක් ඇති කරන පරිසරයක් ඇති කිරීම අපගේ ප්‍රමුඛතම අරමුණයි.

නව දිනය: ගෝලීය වශයෙන් උද්ගතව ඇති තත්ත්වයන් පිළිබඳව අප සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර, සංශෝධිත දිනය පිළිබඳව සියලුම ලියාපදිංචි සාමාජිකයන් සහ පාර්ශවකරුවන් ඉදිරියේදී දැනුවත් කරනු ලැබේ.

ලියාපදිංචිය: දැනට සිදු කර ඇති සියලුම ලියාපදිංචි කිරීම් නව දිනය සඳහා ද වලංගු වේ. තිරසාර සහ නව තාක්‍ෂණයන් පදනම් කරගත් ආයෝජනයන් සඳහා ශ්‍රී ලංකාව ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට ආයෝජන මණ්ඩලය නිරන්තරයෙන් කැපවී සිටී. සාර්ථක ආයෝජන සමුළුවක් පැවැත්වීම සඳහා අප දරන උත්සාහයට ඔබ ලබා දෙන සහයෝගය පිළිබඳව අපගේ ප්‍රණාමය පිරිනමන්නෙමු.

Share

You may also like...