නීති ආධාර සංවාදය, නීති ආධාර කොමිෂන් සභාව සහ යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය (JURE) එක්ව සංවිධානය කරයි
ශ්‍රී ලංකාවේ නීතියේ සහය ලබා ගැනීමට ඇති හැකියාව ශක්තිමත් කිරීම සහ නීති ආධාර සැපයීමේ ක්‍රමවේදය යළි සැලසුම් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරමින්, ‘නීති ආධාර සංවාදය 2026’ කොළඹදී ආරම්භ විය. යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර ඇතිව, අධිකරණ අමාත්‍යාංශය සමඟ අත්වැල් බැඳගනිමින්, යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය (JURE), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ යුනිසෙෆ් (UNICEF) ශ්‍රී ලංකා ආයතනය සමඟ එක්ව නීති ආධාර කොමිෂන් සභාව විසින් මෙම සමුළුව සංවිධානය කර ඇත. පෙබරවාරි 20 සහ 21 යන දෙදින පුරා පැවැත්වුණු මෙම සංවාදය, යුක්තිය පසිඳලීමේ ක්ෂේත්රයේ නව්‍යකරණය සහ සහයෝගීතාවය වෙනුවෙන් නිර්මාණය වූ අද්විතීය වේදිකාවකි.
නීති ආධාර සංවාදය ආරම්භ කිරීමේ නිල උත්සවය, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන මහත්මිය, නීති ආධාර කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ විවේකානන්දන් පුවිතරන් මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට සහාය සංවිධානවල සහ අධිකරණ ක්ෂේත්රයේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් ද සහභාගී වූහ.
දෙදිනක් පුරා පැවැත්වුණු මෙම වැඩසටහන සඳහා නීති ආධාර කොමිෂන් සභාව, අධිකරණ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අධිකරණ ක්ෂේත්රය, විශ්වවිද්‍යාල, සිවිල් සංවිධාන සහ සංවර්ධන හවුල්කරුවන් නියෝජනය කරන විද්වතුන් පිරිසක් සහභාගී වූහ. නීති ආධාර සේවාව, මානව හිමිකම් මත පදනම් වූ සැමට පොදු වූ නවීන රාජ්‍ය සේවාවක් බවට පත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන මහත්මිය අවධාරණය කළේ, නීතියේ ආධිපත්‍යය සුරැකීමට සහ සැමට සමාන ලෙස යුක්තිය ඉටුකිරීම සහතික කිරීමට නීති ආධාර සේවාව මධ්‍යස්ථ කාර්යභාරයක් ඉටු කරන බවයි. UNDP ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය ප්‍රකාශ කළේ, තිරසාර සංවර්ධනයක් උදෙසා විවිධ පාර්ශ්වකරුවන් සම්බන්ධ කරගනිමින්, ජනතාව කේන්ද්‍ර කරගත් සහයෝගී ප්රවේශයන් හරහා නීති ආධාර පද්ධති ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බවයි.
නීති ආධාර කොමිෂන් සභාවේ සභාපති විවේකානන්දන් පුවිතරන් මහතා සිය ප්‍රධාන දේශනයේදී, නීති ආධාර පනත බලාත්මක වී වසර 48ක් ගතවී ඇති බැවින්, නව ආකල්ප සහ කැපවීම් සමඟ නීති ආධාර සේවාව යළි සැලසුම් කිරීමට මෙය සුදුසුම අවස්ථාව බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ජනතාවට වඩාත් සමීප කරවමින් දියුණු කිරීමට සුදුසු කාලය එළැඹ තිබේ. යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය (JURE) යටතේ අධිකරණ ක්ෂේත්රයේ තොරතුරු එක් රැස් කරමින් සකස් කරන ලද Justice Data Snapshot දත්ත වාර්තාව හරහා ලද නව සාක්ෂි සහ එම ව්‍යාපෘතියට විවිධ පාර්ශ්වකරුවන්ගෙන් හිමිවන සහයෝගය, ශ්‍රී ලංකාවේ නීති ආධාර සේවාවන්හි සැබෑ පරිවර්තනයක් සිදු කිරීම සඳහා සුවිශේෂී අවස්ථාවක් උදා කර දී තිබේ.
මෙම දෙදින සංවාදය සඳහා 100ක පමණ පිරිසක් සහභාගී වූ අතර, එහිදී ප්‍රතිපත්තිමය වෙනස්කම්, සේවා සපයන ආකාරය, ආයතන අතර සම්බන්ධීකරණය සහ තාක්ෂණය වැනි නවෝත්පාදන හරහා නීති ආධාර සේවාවන් පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡා කරන ලදී. මෙම සමුළුව හුදෙක් අදහස් හුවමාරු කරගත් වේදිකාවක් පමණක් නොව, මානව හිමිකම් මත පදනම් වූ, කාර්යක්ෂම සහ සැමට පහසුවෙන් ලබාගත හැකි නීති ආධාර පද්ධතියක් ගොඩනැගීමට නව ජවයක් ලබා දුන් වැඩපිළිවෙළක් විය.
මෙම සංවාදය හුදෙක් සාකච්ඡාවකට පමණක් සීමා නොවී, නව්‍ය දත්ත සහ ජාත්‍යන්තර අත්දැකීම් උපයෝගී කරගනිමින් මානව හිමිකම් මත පදනම් වූ ප්‍රතිසංස්කරණ කරා ගමන් කිරීම අරමුණු කරයි. නීති ආධාර යනු සේවාවක් පමණක් නොව, එය මුළු මහත් සමාජයේම පොදු යහපතට හේතු වන්නක් බව මෙම වැඩසටහන මගින් යළි තහවුරු කෙරිණි. ඒ සඳහා සැමගේ එකඟතාවයකින් යුතු මූලධර්ම මෙන්ම, නියමිත කාලරාමුවක් සහිත ඉදිරි සැලසුම් ද මෙහිදී සකස් මෙහිදී සකස් කර ඇත. එමෙන්ම, ජනතාවගේ අවශ්‍යතාවලට වඩාත් හොඳින් ප්‍රතිචාර දක්වන සංශෝධිත නීති ආධාර ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට ද මෙහිදී අවස්ථාව සැලසුණු අතර, එය වඩාත් සාධාරණ සහ ශක්තිමත් අධිකරණ පද්ධතියක් ගොඩනැගීමට මහඟු දායකත්වයක් වනු ඇත.
** අවසානයි**
JURE පිළිබඳව:
යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය (JURE), යුරෝපා සංගමය විසින් අරමුදල් සපයන, UNDP සහ UNICEF ශ්‍රී ලංකා එක්ව, අධිකරණ අමාත්‍යාංශයේ පහසුකම් සහිතව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියකි. මෙය, වගවීම, විනිවිදභාවය, කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය කෙරෙහි අවධානය යොමු කළ නවීන, කාර්යක්ෂම සහ සෑම පුද්ගලයෙකුටම සමානව සහ සාධාරණව සලකන නීති ක්ෂේත්රයක් ගොඩනැඟීම සඳහා පාර්ශ්ව තුනක අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ. JURE යනු, UNDP විසින් මෙහෙයවනු ලබන, අධිකරණ අංශයේ ප්‍රධාන ආයතන සහ පාර්ශ්වයන්ගේ උපදේශන සහ හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා සහාය වන වැඩසටහනකි.
UNDP පිළිබඳව:
UNDP යනු දරිද්‍රතාවය, අසමානතාවය සහ දේශගුණික විපර්යාස යන අයුක්ති සහගත තත්වයන් අවසන් කිරීම වෙනුවෙන් කැපවුණු එක්සත් ජාතීන්ගේ ප්‍රමුඛතම ආයතනයයි. එය රටවල් 170 ක විශේෂඥයින් සහ හවුල්කරුවන් සමඟ එක්ව පුද්ගලයින් සහ මිහිකත උදෙසා ඒකාබද්ධ සහ දිගුකාලීන විසඳුම් ලබාදීමට කටයුතු කරයි.
වැඩිදුර විස්තර දැනගැනීමට www.undp.org/srilankaවෙත පිවිසෙන්න නැතිනම් @UNDPSriLanka හරහා අප සමඟ සම්බන්ධ වන්න.
සම්බන්ධතා: [email protected] ඇමතුම්: 0779804188 | දිගුව 1501 සම්බන්ධ වන්න: UNDP on X | Facebook | Instagram | LinkedIn

Recent Comments