CAREER ONE (www.careerone.gov.lk) ඩිජිටල් වේදිකාව මඟින් මෙරට වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කෙරේ
ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන්, CAREER ONE ඩිජිටල් වේදිකාව (www.careerone.gov.lk) පිළිබඳ බස්නාහිර පළාතේ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ජනවාරි 14 වන බදාදා දින කොළඹ ITC රත්නදීප හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී.
කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (KOICA) අරමුදල් ආධාරයෙන් ක්‍රියාත්මක වන TVET වෘත්තීය වේදිකා ව්‍යාපෘතිය (2023-2026) යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) සමඟ එක්ව, කොරියාවේ ප්‍රමුඛතම Edtech සමාගමක් වන UBION ආයතනය මෙහි ව්‍යාපෘති කළමනාකරණ උපදේශක ලෙස කටයුතු කරයි. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වෘත්තීය ජීවිතයට සූදානම් කිරීම, වෘත්තීය මඟපෙන්වීමේ ක්‍රමවේදයන් ශක්තිමත් කිරීම සහ CAREER ONE ඩිජිටල් වේදිකාව වඩාත් ඵලදායී ලෙස භාවිත කිරීම ප්‍රවර්ධනය කිරීමයි. ශ්‍රී ලංකාවේ TVET ක්ෂේත්‍රයේ වෘත්තීය මාර්ගෝපදේශන ඩිජිටල් වේදිකාව ලෙස ක්‍රියා කරන මෙම වෙබ් අඩවිය හරහා, NVQ පාඨමාලා හදාරන සිසුන්ට වෘත්තීය උපදෙස්, සේවයේ නිරත වෙමින් පුහුණුව ලබාගැනීමේ අවස්ථා (On-the-Job Training) සහ රැකියා ඇබෑර්තු පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.
වැඩසටහනේ සමාරම්භක දේශනය තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) සභාපති මහාචාර්ය ධර්මශ්‍රී වික්‍රමසිංහ මහතා විසින් පවත්වන ලදී. අනතුරුව සභාව ඇමතූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෘත්තීය පුහුණු) සමන්ති සේනානායක මහත්මිය, වෘත්තීය මඟපෙන්වීම් නවීකරණය කිරීමටත්, TVET සිසුන්ට රැකියා ලබා ගැනීමේ අවස්ථා වැඩි දියුණු කිරීමටත් මෙවැනි ඩිජිටල් වේදිකා ඉතා වැදගත් වන බව පෙන්වා දුන්නාය.
ඉදිරිපත් කිරීම් සැසිය ආරම්භ කරමින් UBION සමාගමේ උප සභාපති Yoo In Seak මහතා, CAREER ONE වේදිකාවේ වර්තමාන තත්ත්වය සහ එහි ක්‍රියාකාරිත්වය දත්ත ඇසුරින් විග්‍රහ කරමින් සවිස්තරාත්මක කරුණු ගෙනහැර දැක්වීය. සිසුන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා මෙන්ම වෘත්තීය මාර්ගෝපදේශන ක්ෂේත්‍රයේ නිවැරදි තීරණ ගැනීම සඳහා මෙම දත්ත පදනම් කරගත් තොරතුරු කෙතරම් වැදගත් වන්නේද යන්නත් ඔහු මෙහිදී අවධාරණය කළේය.

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) අධ්‍යක්ෂ මංජුල විදානපතිරණ මහතා මෙහිදී විශේෂයෙන් පවසා සිටියේ, ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් පුහුණු ආයතන අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට තම ආයතනය නිරන්තරයෙන් කැපවන බවයි. ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ (NAITA) වෘත්තීය මාර්ගෝපදේශන අංශයේ පරීක්ෂක (Inspector) කාවින්දි මුතුමාලි මහත්මිය, අනාගත සිසුන් සඳහා විධිමත් ඩිජිටල් වෘත්තීය මාර්ගෝපදේශනයක ඇති වැදගත්කම පැහැදිලි කළාය. එමෙන්ම, වෘත්තීය පුහුණු අධිකාරියෙන් (VTA) අම්පාර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරී එම්. එම්. මහ්සූන් මහතා, සිසුන් සහ වෘත්තිය මාර්ගෝපදේශන නිලධාරීන් සඳහා CAREER ONE වෙබ් අඩවිය වඩාත් සාර්ථකව භාවිත කළ හැකි ආකාරය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් බෙදා ගත්තේය.
අනතුරුව Winwil ව්‍යාපාර සමූහයේ අධ්‍යක්ෂ ලහිරු මධුරංග මහතා විසින් ප්‍රධාන දේශනය සහ ප්‍රශ්නෝත්තර සැසිය පවත්වන ලද අතර රැකියා ලබා ගැනීමේ හැකියාව සහ රැකියා වෙළඳපොළ සඳහා සූදානම් වන්නේ කෙසේද යන්න පිළිබඳව තමන් සතු අත්දැකීම් ඔහු සභාව සමඟ බෙදා ගත්තේය.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් නවෝත්පාදනය සහ තිරසාර නිපුණතා සංවර්ධනය වෙනුවෙන් KOICA ආයතනයේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බව අවධාරණය කරමින්, KOICA ශ්‍රී ලංකා දේශීය අධ්‍යක්ෂිකා Lee Yoo Li මහත්මිය විසින් වැඩසටහනේ සමාප්ති දේශනය පවත්වන ලදී.
මෙම වැඩසටහනට සමගාමීව TVET සිසුන් සඳහා CAREER ONE වෙබ් අඩවියේ ලියාපදිංචි වීම සහ තමන්ගේම නිපුණතා වර්ධනය කර ගැනීම පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් ද පවත්වන ලදී. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය (MoE), TVEC, වෘත්තීය පුහුණු අධිකාරිය (VTA), තාක්ෂණික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව (DTET), NAITA, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය (UoVT), යුනිවර්සිටි කොලේජ්, ජර්මන් කාර්මික පුහුණු ආයතනය (CGTTI), ජාතික තරුණ සේවා සභාව (NYSC) සහ ලලිත් ඇතුලත්මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය (LAVTC) යන ආයතනවල නියෝජිතයන් සහ සිසුන් සහභාගී වූහ.
මෙම වැඩසටහන CAREER ONE ඩිජිටල් වේදිකාව භාවිත කිරීම ප්‍රචලිත කිරීමෙහිලා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. එමෙන්ම ශ්‍රී ලංකාවේ අනාගත ශ්‍රම බලකාය සවිබල ගැන්වීම සඳහා රජයේ ආයතන, වෘත්තීය පුහුණු ආයතන සහ පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන් අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ද මෙය මහඟු අවස්ථාවක් විය.
CAREER ONE යනු NVQ සුදුසුකම් සහිත වෘත්තිකයන්ට තම අනාගතය හැඩගස්වන අවස්ථා හඳුනාගත හැකි නිල ඩිජිටල් වේදිකාවයි. ඔබේ ආයතනයේ සේවයේ නිරත වෙමින් පුහුණුව ලබාගැනීමේ අවස්ථා (On-the-Job Training) සහ රැකියා ඇබෑර්තු නොමිලේ ප්‍රචාරය කිරීමට අදම CAREER ONE සමඟ එක්වන්න!

Recent Comments