2023 ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය “ඇය දැයේ අභිමානයයි” යන තේමාව පෙරදැරිව

සෑම වසරකම මාර්තු මස 8 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය කර  මුල් ගනිමින් ලෝකය පුරා වෙසෙන කාන්තාවන්ගේ උන්නතිය උදෙසා විවිධ මාදිලියේ මැදිහත්වීම් සිදු කරයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම ප්‍රථම වරට 1978  වර්ෂයේ දී ඇරඹූ අතර එතැන් සිට  සුවිශේෂී වූ තේමාවන් ඔස්සේ මෙම දිනය සමරනු ලබයි.

වත්මන් ශ්‍රී  ලංකාව මුහුණ දී තිබෙන සමාජ,  ආර්ථික  අභියෝගයන් හමුවේ වුවද,  හා කාන්තාවන්ගේ අභිමානය,   ගෞරවය හා ශක්තිය පිළිබිඹු වන අයුරින් කාන්තා දින ජාතික උත්සවය “ඇය දැයේ අභිමානයයි” යන තේමාවෙන් සංවිධානය කිරීමට කාන්තා, ළමා හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය කටයුතු සම්පාදනය කර ඇත.

අභියෝගයන් හමුවේ  කාන්තාවන්ගේ අභිවෘද්ධිය  උදෙසා මහඟු කැපවීමෙන් යුතුව කටයුතු කරන   ගරු ජනාධිපතිතුමාගේ  ප්‍රධානත්වයෙන්  2023 මාර්තු 8 දින බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි දී පැවැත්වෙන ජාතික උත්සවයට විශේෂ අංග කිහිපයක් ඇතුළත් වේ.  ශ්‍රී ලාංකේය කාන්තාවන් ගේ අභිමානය හා ප්‍රෞඩත්වය මෙන්ම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඔවුන් රටට අත්කර දුන් කීර්තිමත් වෙනුවෙන් උපහාර පුදනු වස් තෝරා ගත් සුවිශේෂි කාන්තාවන් තිදෙනකු ඇගයීමට ලක් කිරීම සිදු කෙරේ. රට දැය වෙනුවෙන් සහ කාන්තා පරපුර වෙනුවෙන්  දිරිමත්ව  හා ආත්ම ශක්තියකින් යුතුව කටයුතු කිරීමට වත්මන් හා අනාගත පරපුරට මෙමඟින්  ආදර්ශයක් සපයනු ඇත.

 රටේ ආර්ථික සංවර්ධනය තුළින් ශ්‍රී ලංකාව සංවර්ධනය කරා රැගෙන යාමට කාන්තාවන්ගෙන් ලැබෙන අති මහත් දායකත්වය අගය කිරීමේ අවශ්‍යතාව ක්‍රියාවට නංවමින් කාන්තා, ළමා හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ දායකත්වයෙන් දිස්ත්‍රික් මට්ටමෙන් හොඳම ව්‍යවසායික කාන්තාව බවට පත් වූ කාන්තාවන් 25 දෙනෙකු තෝරා ත්‍යාග සහ සහතික පත් ප්‍රදානයෙන් ඔවුන්ව දිරිමත් කිරීම මෙම ජාතික උත්සවයේ දී සිදු කිරීමට නියමිතයි.

අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සමාජ සංවර්ධන ක්ෂේත්‍රයන් ඔස්සේ  මෙරට කාන්තාව ලොව අන් බොහෝ රටවලට වඩා ප්‍රශංසනීය මට්ටමකට ළඟා වී සිටිය ද, ඔවුන්ගේ අයිතිවාසිකම්  කඩවීම්, ප්‍රතිරූපය සහ අනාගත සංවර්ධනයට අයහපත් ලෙස බලපෑම් කළ හැකි ගැටලු තවමත් පවතියි. එබැවින් ඒවාට සාධනීය, ඵලදායී හා දීර්ඝ කාලීන පිළියම්  යෙදීම සඳහා ගරු ජනාධිපතිතුමන්ගේ මඟ පෙන්වීමෙන්, ශ්‍රී ලංකාව සඳහා ප්‍රථම වරට සකස් කළ ස්ත්‍රී – පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය හා කාන්තාව සවිබල ගැන්වීමේ ජාතික ප්‍රතිපත්තිය එළි දැක්වීමට ද කටයුතු කරයි.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික හා මූල්‍ය දුෂ්කරතාවයන් සැළකිල්ලට ගනිමින් රජයේ අරමුදල් භාවිත නොකරමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) ඇතුළු විවිධ බාහිර පාර්ශවයන්ගේ පූර්ණ දායකත්වයෙන් 2023 ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය පවත්වනු ලබයි.

එක් දිනකට පමණක් සීමා නොකර, නව නීති රීති, ප්‍රතිපත්ති සම්පාදනය හා පවුල් මට්ටමින් කාන්තා ජීවිත ගොඩනැගීමේ නව ක්‍රියාදාමයන් රැසක් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට අමාත්‍යංශය අපේක්ෂා කරයි.

Share

You may also like...