Huawei, ලොව පුරා මිලියන 120 ක ජනතාවක් වෙනුවෙන් ගෝලීය ITU ප්‍රතිඥාවට අත්සන් තබයි

 Huawei සමාගම, ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ Partner2Connect  ඩිජිටල් සන්ධානයට සම්බන්ධ වීම වෙනුවෙන් අත්සන් තබා ඇති අතර, එමඟින් වර්ෂ 2025 වන විට රටවල් 80කට වැඩි ප්‍රමාණයක දුරස්ථ ප්‍රදේශවල ජීවත් වන මිලියන 120 ක පමණ ජනතාවක් වෙනුවෙන් සම්බන්ධතා ලබා දීමට නියමිත ය.

Huawei සමාගමේ සභාපති ලින්ග් හුවා මහතා එම  සමාගමේ 2022 වසරට අදාළ තිරසාර සංසදයේ දී, මෙම තීරණය පිළිබඳ ව නිවේදනය කළේ ය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නවෝත්පාදනයන් මගින් ඩිජිටල් ආර්ථික යුගයේ සම්බන්ධතාවල ව්‍යාපාරික සහ සාමාජීය වටිනාකම්වල තිරසාර භාවය ගොඩනඟන්නේ කෙසේ ද යන්න මෙම සංසදය මගින් ගවේෂණය කෙරිණි.

මෙම අවස්ථාවට ITU සහ එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නායකයින්, කාම්බෝජය, නයිජීරියාව, බංග්ලාදේශය සහ පකිස්ථානය යන රටවල  විදුලි සංදේශ අමාත්‍යවරුන් හා නියාමකයින්, චීනය, දකුණු අප්‍රිකාව, බෙල්ජියම හා ජර්මනිය යන රටවල ව්‍යාපාරික නායකයින්, හවුල්කරුවන්, විශේෂඥයින් සහ ගනුදෙනුකරුවන් රාශියක් සහභාගි වූහ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ITU නියෝජ්‍ය මහලේකම් මැල්කම් ජොන්සන් මහතා මෙසේ පැවසුවේ ය. ” හොඳ සන්නිවේදනයකට පැහැදිලි සම්බන්ධතාවයක් පමණක් ප්‍රමාණවත් නැහැ. එම සේවාවන් දැරිය හැකි මිලකට තිබිය යුතු යි. ඊට අමතරව අන්තර්ගතය පාරිභෝගිකයාට අදාළ විය යුතු යි වගේ ම සේවාවන් දේශීය භාෂාවෙන් තිබිය යුතු යි. පරිශීලකයින්ට එයින් උපරිම ප්‍රයෝජන ගැනීමේ හැකියාව තිබීමත් ඉතා වැදගත්.”  එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ජොන්සන් මහතා මෙසේ ද පැවසුවේ ය. “Partner2Connect (P2C) Digital Coalition සඳහා සහයෝගය ලබා දීම වෙනුවෙන් වගේ ම, ග්‍රාමීය සම්බන්ධතා සහ ඩිජිටල් හැකියාවන් ප්‍රවර්ධනය සඳහා වන P2C ප්‍රතිඥාව වෙනුවෙන් Huawei සමාගමට ස්තුතිවන්ත වෙනවා.”

චීනයේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක, සිද්ධාර්ත් චැටර්ජි මහතා සිය අදහස් දක්වමින් ඩිජිටල්කරණයෙන් මඟ හැරුණු ගෝලීය ජනගහනයෙන් තුනෙන් එකක ජනතාව වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ, පෞද්ගලික අංශයේ, විද්වතුන්ගේ සහ සිවිල් සමාජයේ ‘බහු පාර්ශ්වික හවුල්කාරිත්වයක්’ ගොඩනැඟිය යුතු බව ප්‍රකාශ කළේ ය.

“නව රැකියා උත්පාදනය කිරීම, මූල්‍ය සේවාවන් ඉහළ නැංවීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ගොඩනැංවීම, හරිත සංස්කෘතියක් නිර්මාණය කිරීම සහ අපගේ ලෝකය වඩාත් සමෘද්ධිමත් වන පරිදි ප්‍රතිනිර්මාණය කිරීම සඳහා තාක්‍ෂණික පරිවර්තනයෙන් ප්‍රයෝජන ගැනීමට, වැඩිදියුණු කළ ඩිජිටල් සහයෝගීතාවක් අත්‍යවශ්‍ය යි.” යනුවෙන් චැටර්ජි මහතා වැඩිදුරටත් පැවසීය. 

සිය ප්‍රධාන දේශනයේ දී ස්ථාවර ජාලයක් වෙත ප්‍රවේශය මූලික අවශ්‍යතාවක් බව සහ ඩිජිටල් යුගයේ නිවැරදි බව ආචාර්ය ලියැන්ග් අවධාරණය කළේ ය. එමෙන් ම බොහෝ දෙනෙකුට, විශ්වසනීය සම්බන්ධතාවක් සඳහා වන ප්‍රවේශය මගින් ඔවුන්ගේ ජීවිත පරිවර්තනය කිරීමේ පළමු පියවර සනිටුහන් කරන බව ඒ මහතා පැවසුවේ ය.

Share

You may also like...