ඕෂන් ලංකා සමාගම මෙවර වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාව දිනා ගනී

ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted රෙදි නිෂ්පාදකයා වන ඕෂන් ලංකා සමාගම 2022 වසරේ දී පැවැත්වුණු 9වන  වෙළෙඳසේවා වොලිබෝල් ශූරතාව දිනා ගැනීමට සමත් විය. මෙම තරඟාවලියේ පිරිමි අවසන් මහා තරඟයේ දී  3 – 2 ක් ලෙස මැලිබන් සමූහ ව්‍යාපාරයට අයත් කණ්ඩායම පැරදවීමට ඕෂන් ලංකා කණ්ඩායම සමත් විය. මෙවර වෙළෙඳ සේවා ශූරතාවලිය මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

වඩාත්  තරගකාරී වූ  අවසන් මහා තරඟයේ දී පළමු වටය (25-22), තුන් වැනි වටය (25-20) සහ පස් වැනි වටය (15-11)  ඕෂන් ලංකා කණ්ඩායම ජය ගත් අතර, මැලිබන් සමූහය දෙවැනි (25-23) සහ සිවුවැනි (25-22) වට ජයග්‍රහණය කිරීමට සමත් විය. ශූරතාවට අමතරව ඕෂන් ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ කිහිප දෙනෙකු සිය පෞද්ගලික දක්ෂතා වෙනුවෙන් සම්මාන හිමි කර ගත්හ. එහි දී ඕෂන් ලංකා කණ්ඩායමේ අශේන් පීරිස් දක්‍ෂතම ග්‍රාහකයා ලෙස ද, සඳුන් ශ්‍රීමාල් හොඳ ම පන්දු යවන්නා ලෙස ද, ශ්‍රීපරත් අරුචුනෙන් හොඳ ම අවහිර කරන්නා ලෙස ද, මොහොමඩ් මීසාන් තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස ද සම්මාන ලැබූහ.

ඕෂන් ලංකා වොලිබෝල්  කණ්ඩායම් කළමණාකරු රුවන්සිරි මල්ලිකාආරච්චි මහතා මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින්, “මෙම ශූරතාවලිය  වොලිබෝල් ක්‍රීඩාව වෙනුවෙන් අපගේ කැපවීම සහ අපගේ දක්ෂතා ඇගයෙන  උච්චතම අවස්ථාව විදියට හඳුන්වා දීමට පුළුවන්. අපගේ පුහුණුකරුවන්, සහායක කාර්ය මණ්ඩලය වගේ ම  ඕෂන් ලංකා කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් අපට ලබා දුන් සහයෝගය වෙනුවෙන් ඔවුන් සියලු ම දෙනාට ස්තුතිය පුද කිරීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා.” යනුවෙන් පැවසුවේ ය.

වසර ගණනාවක් පුරා ඕෂන් ලංකා කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලය ලබාදුන් සහයෝගය වෙනුවෙන් කණ්ඩායම් නායක බුද්ධික බණ්ඩාර මහතා සිය කෘතඥතාව පළ කළේ, ආයතනය කණ්ඩායම සඳහා ලබා දුන් ඉහළ පෙළේ  පහසුකම් මෙම සාර්ථකත්වය කරා ළඟා වීමට බෙහෙවින් ඉවහල් වූ බව පවසමිනි. ඕෂන් ලංකා වොලිබෝල් කණ්ඩායම මීට පෙර 2019 වසරේ දී වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපිරි ලීග් කාණ්ඩයේ ජයග්‍රහණ අත්කර ගැනීමට සමත් විය.

මෙවර ශූරතාව දිනූ ඕෂන් ලංකා කණ්ඩායම : බුද්ධික බණ්ඩාර (නායක), අශේන් සුමියුරු, සඳුන් ශ්‍රීමාල්, ගයාන් මල්ලිකාරත්න, චතුරංග රාජපක්ෂ, මොහොමඩ් මීසන්, රෙහාන් මධුශංක, ශ්‍රීපරත් අරුචුනෙන්, රුවන්සිරි මල්ලිකාරආරච්චි (කණ්ඩායම් කළමණාකරු), ලලිත් ප්‍රේමලාල් (පුහුණුකරු), ශානුක මදුභාෂ්වන, පසිඳු සඳුරුවන් සහ හසිත ඩිලාන්.

Share

You may also like...