Microgrid පද්ධති සමඟින් මෙරට හරිත බලශක්ති ප්‍රවර්ධනයට DIMO එක් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO මොරටුව විශ්ව විද්‍යාලය තුළ ක්‍රියාත්මක කළ මෙරට ප්‍රථම ‘Microgrid පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය’ මෑතක දී සාර්ථකව නිම කෙරුණු අතර, මෙම   Microgrid සංකල්පය හරහා දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය වෙත අඛණ්ඩ විදුලි බල සැපයුමක් ලබා දීමට DIMO සමාගම අපේක්ෂා කරයි. සිය ඉංජිනේරු සේවා හරහා මාලදිවයින සහ අප්‍රිකානු ග්‍රාමීය ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති DIMO සමාගම එම විදේශීය වෙළෙඳපොලටද Microgrid සංකල්පය හඳුන්වා දීමට අපේක්ෂා කරයි.

ලංකා විදුලි සමාගමේ (LECO) සහ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර සහිතව DIMO සමාගම මගින් මොරටුව විශ්වවිද්‍යාලයේ ස්ථාපනය කර ඇති Microgrid පද්ධතිය මගින් එම විශ්ව විද්‍යාලයට අවශ්‍ය විදුලි ධාරිතාව අඛණ්ඩව සපයන අතර, එමගින් වර්තමානයේ පවතින විදුලි කප්පාදුවේ දී ( පැය 13ක විදුලිය විසන්ධි කිරීමේදී පවා)  ඇති වන අපහසුතාවන්ගෙන් මිදීමට මොරටුව විශ්වවිද්‍යාලයට හැකි වී තිබේ. එමෙන් ම මෙම ව්‍යාපෘතිය නිසා ජාතික විදුලි බල සැපයුම මත පමණක් ම යැපීමෙන් මිදී, තමාගේ විදුලි බල අවශ්‍යතාව ආයතන පරිශ්‍රය තුළ ම නිපදවාගැනීමේ හැකියාව මොරටුව විශ්වවිද්‍යාලයට ලැබී ඇත.විශ්ව විද්‍යාලය  තුළ ස්ථාපිත  Microgrid පද්ධතිය කිලෝ වොට් 375 ක Solar PV පද්ධතියක්  හා කිලෝ වොට් පැය 418 ක ධාරිතාවකින් යුත් බැටරියකින් සහ අවශ්‍ය වේලාවට ප්‍රයෝජනයට ගැනීම සඳහා කිලෝ වොට් 1170 කින් යුත් ඩීසල් ජෙනරේටරයකින් සමන්විත වේ. Microgrid පද්ධතිය තුළ දී සෑම අවස්ථාවක දී ම අදාළ අවස්ථාවට වඩාත් ඵලදායී බලශක්ති ප්‍රභවය හඳුනාගෙන එය තුලින්ම විදුලිය ජනනය සිදු කෙරෙන අතර, එහි ප්‍රතිඵලය වන්නේ අඛණ්ඩ විදුලිබල සැපයුමක් ලබා දීම සඳහා එම පද්ධතිය තුළ අන්තර්ගත සියලු ම බලශක්ති ප්‍රභවයන් භාවිතයට ගැනීමේ හැකියාව ලැබීම සහ කාර්යක්ෂමව විදුලි සැපයීම තුලින් පිරිවැය අඩු කර ගැනීමටද හැකි වේ.

මෙම ව්‍යාපෘතියේ දී DIMO සමාගම, දෙමුහුන් තාක්ෂණය ආශ්‍රිතව පුනර්ජනනීය බලශක්ති විසඳුම් සපයන ලොව ප්‍රමුඛතම විශේෂඥ සමාගමක් වන DHYBRID සමාගම සමඟ අත්වැල් බැඳගැනීමට කටයුතු කළේය. 

වර්ෂාව අඩු වියළි කාලවල දී සෑම වසරක ම පාහේ මෙරට ජල විදුලි බලාගාරවල විදුලිය නිෂ්පාදනය 28% කින් පමණ පහත වැටෙන අතර, පවතින විදේශ විනිමය අර්බුදයත් සමඟම  ඉන්ධන භාවිතයෙන් කෙරෙන විදුලිබල නිෂ්පාදන ක්‍රියාවලියටද බලපෑම් ඇති වීම, වර්තමාන විදුලි කප්පාදුවට  හේතු වී තිබේ. තත්ත්වය මෙසේ වුව ද අද රට තුළ පවතින බලශක්ති ඉල්ලුම අඛණ්ඩව දිනෙන් දින ඉහළ යාම දක්නට ලැබේ. ඊට සමගාමීව කර්මාන්ත හා කාර්මික ක්ෂේත්‍රවල ආයතන තමාට අවශ්‍ය විදුලි බලය නිෂ්පාදනය කර ගැනීම සඳහා සූර්ය බලශක්තිය යොදා ගත්ත ද, විදුලිය ඇනහිටීම්වල දී සූර්ය බලශක්තිය මගින් ක්‍රියාත්මක වන සූර්ය පැනල යොදා ගත නොහැකි නිසා මෙම තත්ත්වයට Microgrid පද්ධති ඉතා හොඳ විසඳුමක් බව පැවසිය යුතු ම කරුණකි.

මෙම නව විකල්පය පිළිබඳව DIMO සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා පැවසුවේ මෙවන් අදහසකි. ” අපගේ නව Microgrid ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම මේ රටේ පුනර්ජනනීය බලශක්ති අනුවර්තන ක්‍රියාවලියේ සුවිශේෂී ජයග්‍රහණයක්. අප සමඟ අත්වැල් බැඳගෙන සිටින හවුල්කාර ආයතන සමඟ එකතුවෙලා ඉදිරියේදීත් මේ හා සමාන තවත් නව ව්‍යාපෘති දියත් කිරීමට අපි කටයුතු කරනවා. මෙම ව්‍යාපෘති හරහා මේ රටේ ජනතාවගේ සිහින හා අභිලාශ  බලගැන්වීම සඳහා අපි නිරන්තරයෙන් කැප වෙනවා.”

අඛණ්ඩ විදුලිය ඇනහිටීම ආයතනික මෙහෙයුම් සඳහා බලපාන අතර විශේෂයෙන් වීදුරු සහ පිඟන් මැටි වැනි කර්මාන්තවල දී ඉතා කුඩා විදුලිය ඇනහිටීමක් හේතුවෙන් පවා විශාල පාඩුවක් සිදුවන නිසා වර්තමාන තත්ත්වය එවැනි කර්මාන්තවලට දරාගත නොහැකිය. එම නිසා ම Microgrid  පද්ධති ව්‍යාපාරික මධ්‍යස්ථාන, කර්මාන්තශාලා, නිවාඩු නිකේතන, රෝහල්, විශ්වවිද්‍යාල, දත්ත මධ්‍යස්ථාන සහ තවත් බොහෝ කර්මාන්ත සඳහා කදිම විසඳුමක් ලබා දෙන කාලෝචිත සංකල්පයක් ලෙස හඳුන්වා දිය හැකිය.

ශ්‍රී ලංකාව තුළ  හරිත බලශක්තිය  ප්‍රවර්ධනය කිරීම සඳහා අඛණ්ඩව කැපවන සමාගමක් ලෙස, DIMO සමාගම කුඩා ජලවිදුලි බලාගාර, ජෛව ස්කන්ධ, සූර්ය හා සුළං බලාගාර ස්ථාපනය සඳහා සේවා සපයයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය මන්නාරමේ ක්‍රියාත්මක කිරීමේ දී ද DIMO සමාගම ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ අතර, මෙරට ප්‍රථම Microgrid පද්ධතිය සාර්ථකව ස්ථාපිත කිරීම, දේශීය වශයෙන් හරිත බලශක්තිය ප්‍රචලිත කිරීමට DIMO සමාගම සිදුකරන කැපවීම පිළිබඳ සාක්ෂි දරයි.

Share

You may also like...