ලංකා විදුලිබල මණ්ඩලය විසින් පුනර්ජනනීය බලශක්ති කර්මාන්තයේ ක්‍රියාකරුවන්ට
ගෙවීම් පැහැර හැරීම නිසා ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 1200ක් අහිමි වීමේ
අවදානමක්

කුඩා පරිමාණ ජල, සුළං, සූර්ය සහ ජෛව ස්කන්ධ බලශක්ති සංවර්ධකයින් ඇතුළත් පුනර්ජනනීය බලශක්ති සංගම්  සහ ලංකා සූර්ය බලශක්ති කර්මාන්ත කරුවන්ගේ සංගමය එක්ව පසුගියදා පවත්වන ලද මාධ්‍ය සාකච්චාවකදී පවසා සිටියේ, 2021 වර්ෂයේ අගෝස්තු මස සිට ඔවුන් විසින් සපයන ලද විදුලිබලය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවීම් පැහැර හැර ඇති බවයි. මේ හේතුවෙන් ඉදිරියේදී  පුනර්ජනනීය බලශක්ති මෙහෙයුම්කරුවන් විසින් ජනනය කරන මෙගාවොට් (MW) 1250.9 ක බල සැපයුමක් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වී යාමේ අවධානමක් පවතින බව ඔවුන් අවධාරණය කර සිටියි. 

පවතින ආර්ථික තත්ත්වය හමුවේ සිය එදිනෙදා මෙහෙයුම් කාර්යයන් පවත්වාගෙන යාම මෙම ගෙවීම් පැහැර හැරීම හමුවේ විශාල අර්බුධයකට ලක්ව ඇති බව අදාළ සංවිධාන නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පවසා සිටින අතර, විශේෂයෙන්ම සේවක වේතන, නඩත්තු වියදම් සහ ආයෝජන සඳහා ලබාගත් ණය ගෙවීම් සිදුකිරීමේදී ඔවුන් දැඩි අපහසුතාවයකට ලක්වන බව පවසා සිටියි.

ඔවුන් මුහුණපා ඇති තත්ත්වය හමුවේ ආර්ථිකයට ඍණාත්මක ප්‍රතිඵල රැසක් හිමිවන අතර, ඉන් ප්‍රධාන වන්නේ ජාතික විදුලිබල පද්ධතියට නිකුත් කරන බලශක්ති ප්‍රමාණයක් අහිමි වී යාමයි. තවද, පුනර්ජනනීය බලශක්තිය සඳහා ගෙවනු ලබන ඒකකයක සාමාන්‍ය පිරිවැය රු. 15.77 ක් වන අතර, එයට සාපේක්ෂව ඒකකයකට රු. 90/- වැනි ඉහළ මිලක් ගෙවමින් තාප විදුලිය සඳහා පොසිල ඉන්ධන මිලදී ගැනීමට අදාළ පාර්ශවයන් හට සිදුවීම ආර්ථිකයට තව දුරටත් අගාදයකට ඇද දමයි. එනම්, පවතින විදේශ විනිමය සංචිත හා සම්බන්ධ ගැටලු තව දුරටත් උග්‍ර කිරීමට මෙම ගෙවීම් පැහැර හැරීම මුල පුරයි.

පුනර්ජනනීය බලශක්ති ක්‍රියාකරුවන්ට රුපියල් බිලියන 22කට ආසන්න ගෙවීමක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදු කළ යුතුව ඇත.අවසානයේ මෙහි ප්‍රධානතම ඍණාත්මක ප්‍රතිඵල විඳින්නේ ප්‍රජාව ලෙස නම් කළ හැක්කේ, මෙම ක්ෂේත්‍රයේ සේවයේ නියුතු 7000කට අධික සේවක පිරිසකට හිමි වැටුප් හා වේතන ගෙවීමට නොහැකි වී ඇති බැවිනි. තවද, බැංකු මඟින් රුපියල් බිලියන 60කට ආසන්න මුදලක් ක්ෂේත්‍රයේ සංවිධාන විසින් ආයෝජන සඳහා ලබාගෙන ඇති අතර, මෙම මුදල් ගෙවීම් සිදුකිරීමේදී  ගැටලු රාශියකට මුහුණ පෑමට සිදු වෙමින් පවතී. මෙය රටේ බැංකු පද්ධතියද අවධානමකට ලක් කරයි. තවද, මෙගාවොට් 550ක ව්‍යාපෘති සැළසුම් අදියරේ ක්‍රියාත්මක වෙමින් පවතින අතර, මෙම ව්‍යාපෘති සඳහා අවශ්‍ය මූල්‍ය නිසියාකාර අන්දමින් ගලාඒම සිදු නොවුනහොත්, ශ්‍රී ලංකාවට පොසිල ඉන්ධන මත පදනම් වූ බලශක්ති සඳහා විශාල වියදම් දැරීමට සිදුවේ. 

පුනර්ජනනීය බලශක්තිය යනු රටේ පවතින බලශක්ති අර්බුධයට පවතින ආර්ථිකමය වශයෙන් වඩාත් වාසි සහගත, කාර්යක්ෂම සහ ඵලදායී පරිසර හිතකාමී විකල්පයකි.   නමුත්, ක්ෂේත්‍රය තුළ පවතින මෙම ගෙවීම් පැහැර හැරීම් හමුවේ වූ අවධානම හමුවේ මෙහි ආයෝජන සිදු කිරීමට පවා ආයෝජකයින් මැළිවේ. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට පුනර්ජනනීය බලශක්තිය නිපදවීම සම්බන්ධ දැක්ම වෙත යාමට බාධාවක් වනවා මෙන්ම, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයන් (UN SDGs) වෙත ළඟා වීමටද ප්‍රභල බලපෑමක් එල්ල කරයි. 

ලංකා විදුලි බල මණ්ඩලයේ වර්තමාන දත්තයන්ට අනුව, පාරිභෝගිකයන් වෙත ලබා දෙන විදුලි ඒකකයක වත්මන් සාමාන්‍ය පිරිවැය රු. 60/- ලෙස ඇස්තමේන්තු කර ඇත. ලංකා විදුලි බල මණ්ඩලයේ බලාගාර වල සෘජු ජනන පිරිවැය ඒකකයකට රුපියල් 154 සිට (කැලණිතිස්ස බලාගාරය) ඉහළම අගය වන අතර රුපියල් 7.19 (විශාල ජලවිදුලි) අඩුම අගය වේ.විශාල ජලාශ පදනම් කරගත් ජලවිදුලි බලාගාර සහ මන්නාරමේ මෑතකදී ආරම්භ කරන ලද මෙගාවොට් 100 සුළං බලාගාරයේ පිරිවැයට පසුව පුද්ගලික හිමිකරුවන් විසින් ක්‍රියාත්මක කරන අනෙකුත් පුනර්ජනනීය බලශක්ති බලාගාර අවම අගයක් වාර්තා කරයි. 

රට සහ එහි ජනතාව වෙනුවෙන් සුනිත්‍ය බලශක්ති අධිකාරිය, විදුලිබල අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාව තුළ තීරණ ගැනීමේදී වඩාත් නම්‍යශීලී බවක් ඇති කරමින් පිරිවැය කාර්යක්ෂමතාවය සහ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි ලංකා විදුලිබල මණ්ඩලය අවධානය යොමු කළ යුතුය.

පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධ අනාගත ඉලක්ක වෙත ළඟා වීමට නම්, මෙම හිඟ මුදල් ගෙවීම් ආශ්‍රිත ගැටලුවට කඩිනම් විසඳුම් හිමිවිය යුතුය. මේ සඳහා රජයේ මැදිහත්වීම අපේක්ෂා කරන අතර, ඉදිරියේදී දේශීය බලශක්ති කර්මාන්තයේ ඇතිවිය හැකි උග්‍ර ගැටලු සඳහා පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය සංවර්ධනය කිරීම සාර්ථක පිළියමක් වනු බව නිසැකය.  

Share

You may also like...