SAPP ව්‍යාපෘතිය හරහා, පැල්වත්ත කිරි සමාගම යටතේ, කිරි ගොවි ප්‍රජාවට මූල්‍යාධාර, නිසි පුහුණුව හා ප්‍රදානයන් ලබාදීම.

Smallholder Agribusiness Partnerships Programme  වැඩසටහන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ  බලාත්මක වන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහනකි. මෙම ව්‍යාපෘතිය හරහා දිවයිනේ නන්දෙසින් පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනය යටතේ ලියාපදිංචි වී ඇති කිරි ගොවි මහත්ම මහත්මීන්ගේ ජීවනෝපාය උසස් කරලීමටත්, ඔවුන්ගේ ගොවිපළවල දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, සමාගම අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය යටතේ කිරි ගොවීන් දහසකගේ (1000ක්) පමණ ආර්ථික හා සමාජයීය තත්වයන් වශයෙන් නගා සිටුවීමට කටයුතු කරන බව සමාගමේ පරිපාලන කළමනාකාර හා මෙම වැඩසටහනේ විධායක කමිටුවේ සම්බන්ධීකාරක දීප්ති ගාල්ලගේ මහතා පවසයි. මෙම ව්‍යාපාරය තවතවත් සවිබල ගන්වමින් වෘත්තීය පුහුණු කිරීම් සිදුකිරීමට දිවයිනේ  MOD සහ පශු වෛද්‍ය කාර්යාලවල සහභාගිත්වය ද ලබාගන්නා බව හෙතෙම පවසයි. මෙම SAPP වැඩසටහන යටතේ දිවයිනේ රාජ්‍ය හා රාජ්‍ය නොවන බැංකු තෝරා ගෙන සිය අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා සමාගම මහත් උත්සාහයක යෙදී කටයුතු කරනු ලබයි. මෙම වැඩසටහනට SAPP ව්‍යාපෘතිය හරහා මූල්‍යාධාර සැපයීම සඳහා HNB, SDB, DFCC, BOC යන බැංකු මේ වන විට වැඩි දායකත්වයක් සපයමින් කටයුතු කරයි.මෙම ව්‍යාපාරය යටතේ අප අරමුණු රාශියක් හඳුනා ගෙන ඇති අතර එම අරමුණු වශයෙන්, දෛනික කිරි නිෂ්පාදනය දෙගුණයකින් වැඩි කිරීම, උසස් කළමනාකරණ ක්‍රමවේදයක් තුළින් කිරිවල තත්වය සහ ගුණාත්මක බව වැඩි කිරීම, ගොවීන් සඳහා අඩු පොලී ප්‍රතිශතයක් මත හා පහසු ගෙවීමේ ක්‍රම යටතේ ණය සැපයුම සහ ඔවුන් බැංකු ක්‍රියාවලියට යොමු කිරීම, රැකියා විරහිත කාන්තාවන් වැඩි වශයෙන් මෙම නිෂ්පාදන කටයුතු සඳහා යොමු කිරීමට අපේක්ෂා කෙරේ.
අපේක්ෂිත ඉලක්කයන් වශයෙන්, ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු තෙවැනි වසරේ දී තෝරාගත් හිමිකම් ලාභීන් හරහා දිනකට කිරි ලීටර 45,000ක් පමණ නිපදවා ගැනීම, ව්‍යාපාරයෙහි තෙවන වසරේදී හිමිකම් ලාභීන්ගේ මාසික ශුද්ධ ආදායම රුපියල් තිස් පන්දාහක් (රු.35,000) පමණ කිරීමට කටයුතු කිරීම, ව්‍යාපෘතිය ආරම්භ කොට වසරක් ඇතුළත තරුණයින් දස දෙනෙකු Artificial Insemination  ලෙස පුහුණු කිරීම, දෙවන වසර තුළ කිරි නිෂ්පාදනය හා සම්බන්ධ පුහුණු කිරීම් හා පර්යේෂණ ආයතනයක් ආරම්භ කර නඩත්තු කිරීමට ද අපේක්ෂිතය.මෙම වැඩසටහන තුළ දිවයිනේ දිස්ත්‍රික්ක අටකින් තෝරාගත් කිරි ගොවීන් දහසක් (1000) සඳහා ආධාර උපකාර කිරීමට අදහස් කරන බව එම ව්‍යාපෘතිය භාර නිළධාරියා වැඩිදුරටත් පවසයි. ඒ අනුව අනුරාධපුර, නුවරඑළිය, කුරුණෑගල, මොනරාගල, පොළොන්නරුව, බදුල්ල, අම්පාර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වලින් සමන්විත වන පරිදි ගොවීන් තෝරා ගැනීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී පැල්වත්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතාගෙන් ලැබෙන සහයෝගය නිරන්තර පැසසුමට ලක්වේ. වර්තමානයේ  අපගේ තරුණ කිරි ගොවි පිරිස් එම ව්‍යාපාරයෙන් ඉවත්ව යන නැඹුරුවක් පෙන්නුම් කරන බවත්, එයට හේතුව ඔවුන් නිසි ලෙස දිරිමත් නොකිරීම හා අභිප්‍රේරණය නොවීම නිසා බවත් වික්‍රමනායක මහතා පවසයි.
ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුළ අනාදිමත් කාලයක සිට ඔවුන්ගේ ආහාර වේල සඳහා කිරි හා සම්බන්ධ නිෂ්පාදනයන් පරිභෝජනය කෙරෙහි දැඩි අවධානයක් යොමු වී තිබුණ අතර ඉල්ලුමට සරිලන සැපයුමක් පවත්වා ගැනීමට දිවයිනේ කිරි ගොවින් අපොහොසත් වූ හෙයින් මෙම හිඩැස පිරවීම සඳහා කිරි නිෂ්පාදන ගොවීන් හා පැල්වත්ත සමාගම සම්බන්ධ වී එම ව්‍යාපෘතිය තුළින් වැඩි කිරි නිෂ්පාදනයක් ලබා ගැනීමට අපේක්ෂිතය. දැනට දිවයින තුළ නිෂ්පාදනය කරන්නේ රටේ සම්පූර්ණ ඉල්ලුමෙන් 40%ක් පමණ වන ප්‍රමාණයක් වන අතර මෙම ව්‍යාපාරය සාර්ථක කර ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය වැඩි කර ගැනීමට සමාගම අදහස් කරයි. මෙම ව්‍යාපාරය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ පැල්වත්ත සමාගම ගොවීන් දිරිමත් කරමින්,  ඔවුන් අභිප්‍රේරණය කරමින් මෙම ව්‍යාපාරය තුළ අගනා මෙහෙවරක් ඉටු කරමින් විශාල ජාතික මෙහෙවරකට උරදී් සිටියි.
මෙම SAPP ව්‍යාපෘතිය හරහා දිවයිනේ දිස්ත්‍රික්ක අටක් මුල්කරගෙන 4P සංකල්පය යටතේ Producer, Public, Private, Partnership මුල් කරගෙන මෙම ව්‍යාපෘතිය සඳහා ජාත්‍යන්තර අරමුදල හා කෘෂිකර්ම සංවර්ධන ආයතනය මුල්කරගෙන මූල්‍ය පහසුකම් ලබා ගනී. පැල්වත්ත කිරි සමාගම මෙම ව්‍යාපාරය තුළ සන්නද්ධ වෙමින් සිය කාර්යභාරය නිසි ලෙස ඉටු කරමින් ජාත්‍යන්තරයට ඇදී යන විදේශ විනිමය මෙරට තුළ රඳවා ගැනීමට මහත් මෙහෙවරක යෙදී සිටියි.පැල්වත්ත කිරි සමාගම මෙම වැඩසටහන හා අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලංකාවේ පෞද්ගලික කිරි නිෂ්පාදන ආයතනයක් ලෙස සක්‍රීයව කටයුතු කරනු ලබයි. අප සමාගමට සක්‍රීය කිරි එකතු කිරීමේ ජාලයක් සතු වන අතරම දිනකට කිරි ලීටර 90,000ක් පමණ එක්රැස් ගනිමින් ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති සමාගමේ විකිණුම් අළෙවිසැල් 21ක් පමණ සක්‍රීයව පවත්වාගෙන යයි. මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය වන කාර්මික දැනුම හා පුහුණු වීම සඳහා වන වැඩසටහන් Market Oriented Dairy මගින් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා දායකත්වය  United State Department of Agriculture (USDA), International Executive Services Corporation (IESC) United State Department of Agriculture (USDA), International Executive Services Corporation (IESC) හරහා ලබාගනිමින් කෘෂිකාර්මික උපකරණ ගොවි මහතුන් සඳහා ලබාදීමට මෙම ව්‍යාපෘතිය හරහා උත්සුකව කටයුතු කරයි. මෙම ව්‍යාපෘතිය හරහා ගොවීන්ට තම ව්‍යාපාරය විධිමත්ව කරගෙන යාම සඳහා තෘණ කැබලි කිරීමේ යන්ත්‍ර, කිරි සිසිලන යන්ත්‍ර, කිරි දෙවීමේ යන්ත්‍ර සහ කිරි එකතු කිරීමේ ටැංකි ලබාදීමත් සිදු කරනු ලබයි. මීට අමතරව දැනට ගොවියන් සතු ගව කුටි, (Cattle Shed) අනුවර්තනය හා අලුත්වැඩියාව සඳහා ද, ඇසෝලා වගාව (Azzola) සහ තෘණ වගාව සඳහා ද SAPP ව්‍යාපෘතිය හරහා අනුග්‍රහකත්වය සැපයේ.පැල්වත්ත කිරි සමාගම අනුග්‍රහයෙන් පසුගිය පෙබරවාරි මස කැකිරාව ප්‍රදේශයේ තෝරාගත් ගොවි මහත්ම මහත්මීන් තිස් දෙනකුට (30) පමණ මෙම ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්ෂ පනස් හතරක (රු.5,400,000) මූල්‍යාධාර SDB බැංකුව හරහා නිකුත් කළ බව පැල්වත්ත සමාගම සතුටින් සනිටුහන් කර සිටී.ඉදිරි මාසය තුළ උතුරු නැගෙනහිර හා මධ්‍යම පලාත් තුල මෙම ව්‍යාපාරය හා සම්බන්ධව සිටින ගොවීන් වෙනුවෙන් ණය මුදල් හා අදාල ප්‍රදානයන් ලබාදීමට ක්‍රියාකරන බව සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුසන්ත මල්වත්ත මහතා ප්‍රකාශ කර සිටී. මෙම ව්‍යාපෘතිය හරහා ඉදිරියේදී දෛනික දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට හැකියාව තිබෙන බව සමාගම තවදුරටත් ප්‍රකාශ කර සිටී .

Share

You may also like...