අනාගතය වෙනුවෙන් සිංගර් සිය නවතම තේමාව හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ දිගුකාලීන ඉතිහාසයකට උරුමකම් කියන සිංගර් 1877 දී සරල මහන මැෂින් නිෂ්පාදන සමාගමක් ලෙස ආරම්භ විය. අද වන විට මෙරට ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ පුරෝගාමියෙකු ලෙස සිය සාර්ථකත්වය සනිටුහන් කරමින් ගෝලීය වශයෙන් කීර්තිමත් සන්නාම 60කට අධික සංඛ්‍යාවකට අයත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ 600කට අධික ප්‍රමාණයක් සහ ගෘහ උපකරණ 1200කට අධික ප්‍රමාණයක් පාරිභෝගිකයින් වෙත පිරි නමමින් ශ්‍රී ලංකාවේ විශ්වාසනීය සන්නාමය බවට පත්ව තිබේ. සියලුම පාරිභෝගික අවශ්‍යතාවයන් මැනවින් හඳුනා ගනිමින් සැමට එකලෙස සේවා සපයන, වසර ගණනාවක් පුරා අසමසම සාර්ථකත්වයක් අත්විඳින සමාගමක් ලෙස  2021 වර්ෂයේදී ‘ශ්‍රී ලාංකීය ජන ජීවිතය නඟා සිටුවීම සහ සශ්‍රීක කිරීමේ ප්‍රමුඛයා වීම ‘ යන සිය  ‘නව දැක්ම’ හඳුන්වා දෙන ලදී.

සිංගර් හි නව දැක්ම සපුරාලීමට අවශ්‍ය මාර්ගෝපදේශයන් රැසක් සමාගම විසින් සිය කාර්ය මණ්ඩලය වෙත මෑතකදී හඳුන්වා දුන් අතර වෙනස් වන පාරිභෝගික අවශ්‍යතාවයන්ට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට නව්‍ය ක්‍රම සොයා ගැනීම, අභ්‍යන්තර කටයුතු වලදී අඛණ්ඩව වගකීම් දැරීම සහ අවංකව සේවය කිරීම,  සාමූහික සාර්ථකත්වය වැනි වැදගත් කරුණු රැසක් එහි අන්තර්ගත වේ. තවද සිය සමාගම තුළ සහ පාරිභෝගිකයින් සහ සියලුම පාර්ශවකරුවන් අතර දයාව සහ ගෞරවය ප්‍රවර්ධනය කිරීමටද සිංගර් පෙරමුණ ගනු ඇත.

සිංගර් හි නව දැක්මේ වඩා වැදගත් අංගය වනුයේ සිංගර් සන්නාමය අනාගතයේ දී සිදු කරනු ලබන සෑම කටයුත්තක් සඳහාම  ‘හදවතේ නිවහන’ යන සිය නවතම තේමාව පෙරදැරි කර ගැනීමයි. මෙහිදී අපගේ පාරිභෝගිකයින්ගේ නිවහන සැමදා සිංගර් අපගේ හදවතේ මුල්තැනම තැබෙන බව ඔවුන්ට පසක් කර දීමට අවශ්‍ය සියලු දේ නොඅඩුව ඉටු කිරීමට සිංගර් සමාගම බැඳී සිටී.

මෙම නව දැක්ම සහ තේමාව පිළිබඳ අදහස් දක්වමින්, සිංගර් ශ්‍රී ලංකා සමූහයේ  ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා මෙලෙස පවසයි. “මෙය සිංගර් ඉහළම තලයකට ගෙන යාම වෙනුවෙන් අපගත් ප්‍රයත්නයේ තවත් එක් පියවරකි. අපගේ නව දැක්ම සහ වටිනාකම්, නවීකරණය කරන ලද ප්‍රදර්ශනාගාර, වැඩිදියුණු කළ පාරිභෝගික සේවාවන් සහ නව සන්නාම යෝජනාව අනාගතයේදී සිංගර් සන්නාමය සහ අපගේ පාරිභෝගිකයන් නව තලයකට ගෙන යනු නොඅනුමානය.”

නවීකරණය කරන ලද සිංගර් මෙගා සහ සිංගර් ප්‍රදර්ශනාගාර මඟින් පාරිභෝගිකයන් සඳහා වඩා සුවපහසු සහ ක්‍රියාශීලී අත්දැකීමක් ලබාදෙනු ඇත. සෑම සිංගර් මෙගා සහ සිංගර් ප්‍රදර්ශනාගාරයක්ම සියලුම නව සන්නාමයන්ගෙන් සමන්විත සම්පූර්ණ නිෂ්පාදන පරාසයක් ප්‍රදර්ශනය කරන අතර පාරිභෝගිකයින්ට වඩාත් ඉඩකඩ සහිත, අන්තර්ක්‍රියාකාරී සහ පරිපූර්ණ සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීමට සැලසුම් කර ඇත. මේ වන විට සිංගර් ප්‍රදර්ශනාගාර 50ක් මෙම නව මුහුණුවර සමඟින් ප්‍රතිසංස්කරණය කර ඇති අතර අලෙවිසැල් 100ක් 2022 මාර්තු මස අවසන් වන විට නව මුහුණුවරට අනුගත කිරීමට අපේක්ෂා කෙරේ.

නව සන්නාම යෝජනාව පිළිබඳ අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකා හි අලෙවි අධ්‍යක්ෂ  ශනිල් පෙරේරා මහතා මෙලෙස පවසා සිටියි. “සිංගර් සන්නාමයක් ලෙස තමන් ගොඩනඟා ගෙන ඇති සන්නාම උරුමය මත යැපීම තුළින් වෙළෙඳපොළ තුළ අඛණ්ඩ පැවැත්මක් ලබා ගත නොහැකි බව අප දනිමු. වෙනස් වන වෙළෙඳ පොළ ගතිකත්වය, පාරිභෝගික අපේක්ෂාවන් සහ හැසිරීම් සමඟ සන්නාමයද පරිණාමය වීම අත්‍යවශ්‍ය බව අපගේ විශ්වාසයයි. ශක්තිමත්ම සන්නාමයන් වන්නේ කාලයත් සමඟ තම පාරිභෝගිකයින් සමඟ ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනඟා ගත් ඒවාය. සෑමවිටම සන්නාමයක්, පාරිභෝගිකයින් උදෙසා වෙනස්ම සහ අර්ථවත් දෙයක් සිදු කල යුතු නිසාත් අප කරන සෑම කටයුත්තක්ම පාරිභෝගික හදවත් ස්පර්ශ කළ  යුතු නිසාත් නවතම ‘හදවතේ නිවහන’ තේමාව දෙසට අපි යොමුවුණා.”

සිය ඉතිහාසය පුරාවටම, සිංගර් සැම විටම විශ්වාස කළේ සාර්ථක වීමට නම්, වෙළඳපොළේ ප්‍රවණතා සහ වෙනස්කම් සමඟ පරිණාමය විය යුතු බවයි. කෙසේ වෙතත්, ඕනෑම සමාගමක් විශිෂ්ට ඉලක්කයක් පිහිටුවා ගැනීම සහ එම ඉලක්කය පිළිගැනීම අදාළ සමාගම සාර්ථකත්වය වෙත යොමු කරන පළමු පියවරයි. වසර ගණනාවක් පුරා, සිංගර් ඕනෑම වෙනස්කමකට අනුගත විය හැකි බව සහ අනාගතයට අභියෝගයක් එක්කල හැකි සන්නාමයක් බව නිරන්තරයෙන් ඔප්පු කර ඇත.

Share

You may also like...