එලායන්ස් ෆිනෑන්ස් සමාගම රුපියල් බිලියනයකින් ද්විතීක ප‍්‍රාග්ධනය ඉහල නංවා ගනී

ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීම සහ  පහසුකම් සැලසීම සඳහා එලායන්ස් ෆිනෑන්ස් පීඑල්සී  සමාගම සිය නියාමන ප‍්‍රාග්ධනය ශක්තිමත් කිරීමේ අරමුණින්,  රුපියල්  බිලියනයකින් තම ද්විතීක ප‍්‍රාග්ධනය ඉහල නංවා ගැනීමට සමත් විය. 

වසර 5 ක කාල සීමාවකට යටත්ව මෙරට ප‍්‍රමුඛතම ආයෝජන බැංකුවක් වන කැපිටල් එලායන්ස් සමාගම (CAL) මගින් ලබාගත් උපකාරක ණය ව්‍යූහගත කිරීමක් මගින් මෙම ප‍්‍රාග්ධනය රැස්කිරීමට එලායන්ස් ෆිනෑන්ස් ආයතනය කටයුතු කර ඇත.

මෙම සුවිශේෂී ජයග‍්‍රහණය  පිළිබඳව අදහස් දක්වමින් එලායන්ස් ෆිනෑන්ස් ආයතනයේ නියෝජ්‍ය සභාපති / කළමනාකාර අධ්‍යක්ෂ රොමානි ද සිල්වා මහතා පැවසුවේ “අපගේ තිරසාර ව්‍යාපාරික දර්ශනය කෙරෙහි  ආයෝජකයින් තුළ ඇති විශ්වාසය මෙම ජයග‍්‍රහණය තුළින් ඉතා හොඳින් පිළිබිඹු කරනවා.  කොවිඞ් 19 වසංගතය හේතුවෙන් මේ රටේ ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දැඩි ලෙස අභියෝගයන්ට මුහුණ දුන්නා. ඒ නිසා ඔවුන්ට වෙන කවරදාටත් වඩා වැඩි සහයෝගයක් ලබා දිය යුතු බව අපි අවබෝධ කරගත්තා. උපකාරක ණය ක‍්‍රමවේදයක් මගින් අපගේ ද්විතීක ප‍්‍රාග්ධනය රුපියල් බිලියනයකින් ඉහළ නංවාගැනීම නිසා, අපටම ආවේණික ව්‍යාපාරික ආකෘති භාවිතා කරමින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් බලගැන්වීමේ හැකියාව අපට  තිබෙන බව පැවසීමට කැමතියි. ඒ වගේම අප කෙරෙහි තබා ඇති විශ්වාසය වෙනුවෙන් කැපිටල් එලායන්ස් ආයතනයට මගේ අවංක ස්තුතිය පුදකර සිටිනවා.  2019 වසරේ දී ලෝක බැංකු සමූහයේ පෞද්ගලික අංශයේ  තාක්ෂණික සහයෝගය ඇතිව, අභ්‍යන්තර ප‍්‍රතිව්‍යුහගතකරණයකට ලක්කිරීමෙන් පසුව, මේ රටේ මූල්‍ය ක්ෂේත‍්‍රය තුළ සුවිශේෂී වර්ධනයක් පෙන්නුම් කරමින් 1.6% ක  ණය  වත්කම් වර්ධනයක්, 169% ක ලාභයේ  වර්ධනයක් සහ  අක‍්‍රිය ණය අනුපාතය (NPL) හි 23% ක  අඩුවීමක් 2020/21 මුල්‍ය වර්ෂය තුලදී වාර්තා කිරීමට එලායන්ස් ෆිනෑන්ස් ආයතනයට හැකියාව ලැබුණා. ශ‍්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගම  වගේම, ග‍්‍රාමීය ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් ණය ලබා දෙන ආයතනයෙක් විදියට එලායන්ස් ෆිනෑන්ස් ආයතනය සියලූම ජනතාවගේ තිරසාර සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන බව පැවසිය යුතුම කරුණක්.”

එලායන්ස් ෆිනෑන්ස් ආයතනය මෙරට ආර්ථිකය සවිබල ගැන්වීමෙන් ඔබ්බට යමින්, සාමාජීය හා පාරිසරික තිරසාරභාවය කෙරෙහි ද සුවිශේෂී  අවධානයක් යොමු කරයි.  2012 වසරේ දී ත‍්‍රිත්ව ලභාදයීත්ව සංකල්පය අනුගමනය කරමින් එහි ආරම්භක වටිනාකම් ආයතනගත කිරීමට එලායන්ස් ෆිනෑන්ස් ආයතනය පියවර ගෙන ඇති අතර, එය ආයතනයේ අද පවතින ආයතනික තිරසාර ප‍්‍රගතිය සඳහා හේතු පාදක වී ඇත. එමෙන්ම 2020 වසරේ දී, එලායන්ස් ෆිනෑන්ස් ආයතනය, ‘පුරෝගාමී තිරසාර ප‍්‍රමිති සහ සහතිකකරණ වැඩසටහන  (SSCI) යටතේ පරිපූර්ණ තිරසාරභාවය පිළිබඳ සහතික ලැබූ ප‍්‍රථම දකුණු ආසියානු  මූල්‍ය ආයතනය බවට පත්විය.  SSCI වැඩසටහන ජර්මනියේ ක‍්‍රියාත්මක ‘වටිනාකම් මත පදනම් වූ මූල්‍ය ආයතන සඳහා වන තිරසාර ප‍්‍රමිති පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලය (International Council of Sustainability Standards for Value-Driven Financial Institutions) යටතේ ක‍්‍රියාත්මක වන වැඩසටහනකි.  එමගින්ද එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ මෙම නොසැලෙන කැපවීම වර්ධනය කිරීම කෙරෙහි දැඩි සහයෝගයක් ලබා දෙයි.

මූල්‍ය ක්ෂේත‍්‍රය තුළ තිරසාර සංවර්ධන ව්‍යාපෘති සඳහා  ඉහළම දායකත්වය සපයන්නන් අතරින් එලායන්ස් ෆිනෑන්ස් ආයතනය ප‍්‍රධාන වන අතර, එම සමාගම වාර්ෂිකව සිය ලාභයෙන් 4%ක ප‍්‍රමාණයක් තිරසාර සංවර්ධන වැඩසටහන් සඳහා වෙන් කරයි. සාමාජීය හා පාරිසරික අරමුණු සපුරාලීම වෙනුවෙන් කැපවන එලායන්ස් ෆිනෑන්ස් ආයතනය 2024 වසර වන විට ගස් මිලියනයක් සිටුවීමට අරමුණු කරයි. එම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා  “එකමුතු බව වෙනුවෙන් ගස්  මිලියනයක් ” වැඩසටහන ප‍්‍රමුඛ ව්‍යාපෘති ගණනාවක්  එලායන්ස් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය සතු වන අතර, එම සමාගම මේ වන විට ජාතියට පැල 350,000 කට වැඩි සංඛ්‍යාවක් දායාද කර ඇති බව පැවසිය යුතුම කරුණකි.  මීට අමතරව, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, ව්‍යවසායකයින් සවිබල ගැන්වීම, තිරසාර නිෂ්පාදන ප‍්‍රවර්ධනය කිරීම සහ සමාජ සහ පාරිසරික යහපැවැත්ම සහතික කරන සුවිශේෂී තිරසාර සංවර්ධන වැඩසටහන් රාශියක් එලායන්ස් ෆිනෑන්ස් ආයතනය මගින් ක‍්‍රියාත්මක කරයි.

දුරදර්ශි, අති දක්ෂ තරුණ කණ්ඩායමකින් සමන්විත එලායන්ස් ෆිනෑන්ස් ආයතනය,  ගෝලීය සහ දේශීය තිරසාර සංවර්ධන න්‍යාය පත‍්‍රයන් සඳහා අඛණ්ඩව සහයෝගය ලබා දෙන  ආයතනයකි. ලෝකයේ ප‍්‍රමුඛතම තිරසාර ආයෝජකයන් වන IFC,FMO,DWM,Tridos Bank වැනි, විදෙස් මූල්‍ය හවුල්කරුවන් සමඟ සහයෝගීතාව  වර්ධනය කරගනිමින් රටේ පුළුල් පරාසයක විහිදී සිටින ජනතාව වෙත සේවාවන් ලබා දීමට හැකියාව ලැබෙන බව එලායන්ස් ෆිනෑන්ස් ආයතනය විශ්වාස කරයි.  ශ‍්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයට පහසුකම් සපයන මෙවැනි හවුල්කාරිත්වයන් සහ සහයෝගීතාවන් වර්ධනය කරගැනීමට  උනන්දු වන එලායන්ස් ෆිනෑන්ස් ආයතනය ‘තිරසාර මූල්‍ය විසඳුම් මගින් ලෝකය වඩා යහපත් තැනක් බවට පත් කිරීමේ‘ සිය ගමන් මග වේගවත් කරනු ඇත.

Share

You may also like...