වාර්ෂිකව විදුලි සංදේශ නියාමන අංශයේ ඉංජිනේරුවන් 300ට අධික පිරිසකට පුහුණුව සැලසීමේ අරමුණින් NAITA – Huawei ICT ඇකඩමිය දියත් කරයි

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) විසින් ප්‍රමුඛ පෙළේ තොරතුරු තාක්‍ෂණ විසඳුම් සපයන ආයතනයක් වන Huawei සමඟ එක්ව වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව සැලසීමේ අරමුණින් NAITA – Huawei ICT ඇකඩමිය විවෘත කරන ලදී. මෙම අවස්ථාවට ගරු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මැති තුමන්, ගරු නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල මැතිනිය,  ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපති තරංග නලීන් ගම්ලත්, Huawei ටෙක්නොලජීස් ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී Liang Yi යන මහත්ම මහත්මීන් සහභාගී විය. 

දේශීය මෙන්ම ජාත්‍යන්තර රැකියා වෙළඳපොල ජයග්‍රහණය කළ හැකි, කුසලතා වලින් සන්නද්ධ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ රජයේ අරමුණ වෙත සහයෝගය දක්වමින්, Huawei විසින් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) හා අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගියදා අත්සන් තැබූ අතර,  Wireless හා Datacom Hardware ස්ථාපනය, Environment Health & Safety (EHS) සහ ගුණත්ව වර්ධනය ඇතුළුව  විදුලි සංදේශ ඉංජිනේරුවන්ගේ දැනුම හා පුහුණුවීම් සමඟ වාර්ෂිකව තරුණ තරුණියන් 300 කට අධික සංඛ්‍යාවක් පුහුණු කිරීමට මෙම සහයෝගීතාවය හරහා අපේක්ෂා කෙරේ. 

මෙහි සමාරම්භක උත්සවය අමතමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැති තුමන් මෙසේ පැවසීය “අධ්‍යාපනය යනු තෘප්තිමත් ජීවිතයක් සඳහා පදනම ලෙස හඳුන්වන්න පුළුවන්. සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය යනු අප ආර්ථිකයේ ඉහළ වැදගත්කමක් දක්වන අංශයක්. එබැවින් මෙම ක්ෂේත්‍රයන් තුළ කුසලතා වර්ධනය කිරීමේ දැඩි අවශ්‍යතාවක් පවතිනවා.  අපේ රටේ අනාගතය තීරණය කරන වැදගත්ම සාධකය වන්නේත්  නිපුණතා වලින් පිරිපුන් මානව සම්පතයි. ඒ හේතුවෙන් මෙම අංශයන්හි මානව සම්පත් සංවර්ධනය මූලික කරගනිමින්,  වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය තුළ සිදුවන මෙවැනි වර්ධනයන් අපේ රටේ අනාගතය සංවර්ධනය කරනවා කියලා කියන්න පුළුවන්.  ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ තාක්ෂණික  කුසලතා ඉහළ නැංවීම සඳහා Huawei විසින් සිදුකරනු ලබන මෙම කර්තව්‍ය ඉතා ප්‍රශංසනීය වන අතර, එය  මෙම රටේ අනාගතය සංවර්ධනයට ඍජුවම බලපාන බව අපට කිව හැකියි”. 

ඔහු තව දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්ම  යටතේ ශ්‍රී ලංකා රජය ආර්ථික ප්‍රමුඛතාවන්ට ගැලපෙන අධ්‍යාපනයක් ලබා දීම කෙරෙහි සිය අවදානය යොමු කරන බවත් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට සමගාමීව වෘත්තීය පුහුණුව යන අංශවල අධ්‍යාපනය ලබා දීම තුලින් කර්මාන්ත අංශයට අවශ්‍ය වෘත්තීය ඉල්ලුමට සරිලන කුසලතා සහ ආකල්ප සහිත සුදුසු ශ්‍රම බලකායක් ගොඩනැගිය හැකි බවත්ය.

මෙහිදී අදහස් දක්වමින් රාජ්‍ය නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය සීතා අරඹේපොල  මැතිනිය පවසා සිටියේ අනාගතයේදී ශ්‍රී ලංකාව වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව වැඩිදියුණු කිරීම සඳහා පෞද්ගලික අංශය සමඟ ක්‍රියාකාරීව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි.

“මම Huawei ආයතනයට මගේ කෘතගුණ දක්වන අතරම NAITA වෙත ඔබ ලබාදෙන සහයෝගය අගය කරන්න කැමති.  එසේම අපගේ තරුණ තරුණියන් දැනුම හා තාක්‍ෂණයෙන් පොහොසත් කිරීම සඳහා අනාගතයේදී අපට එක්ව කටයුතු කළ හැකියැයි අපි බලාපොරොත්තුවෙන් ද සිටිනවා” රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල මැතිනිය පැවසීය.

“අද ලෝකයේ වෘත්තීය කුසලතාවන්ට කර්මාන්තය තුළ වැඩි ඉල්ලුමක් පවතින අතර එබැවින් තරුණ තරුණියන්  අතර වෘත්තීය කුසලතා වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.වාර්ෂිකව තරුණ තරුණියන් 300 කට අධික සංඛ්‍යාවකගේ කුසලතාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් ඇතිකරන ලද NAITA- Huawei ICT ඇකඩමිය ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා හා වෘත්තීය සංවර්ධනයේ මධ්‍යස්ථානයක් වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.මෙම කටයුත්ත සඳහා HUAWEI සමඟ අත්වැල් බැදගැනීමට  ලැබීම පිළිබඳව අපි ඉතා සතුටට පත්වනවා.” NAITAහි සභාපති තරංග නලීන් ගම්ලත් මහතා මෙසේ  පැවසීය.

තොරතුරු සන්නිවේදන තාක්ෂණ කුසලතා, ඩිජිටල් ආර්ථිකයට බලපාන එක් ප්‍රධාන සාධකයකි. ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා වර්ධනය කිරීම සඳහා Huawei විවිධ පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කරයි.

5G, IoT, cloud computing, සහ artificial intelligence යන නැගී එන තාක්ෂණයන් ඉතා ඉක්මනින් මහා පරිමාණ වාණිජමය යෙදුම් තුල දක්නට ලැබේවි. කුසලතා සැපයුම ඉල්ලුමට සරිලන සේ ගැලපීම සඳහා සම්පත් බෙදාගැනීම,  විශ්ව විද්‍යාල, වෘත්තීය පුහුණු ආයතන සහ ව්‍යවසායන් අතර ඒකාබද්ධ සංවර්ධනය ඇතුළත් දිගුකාලීන උපාය මාර්ගයක් අවශ්‍ය වන අතර මෙම ඇකඩමිය එම කාර්යභාරය ඉටු කරනු ඇත. මෙම වැඩසටහන ඉදිරි වසර කිහිපය තුළ තරුණ කුසලතා විශාල ප්‍රමාණයක් වර්ධනය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා. ”යැයි  Huawei ටෙක්නොලජීස් ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී Liang Yi මහතා පැවසීය.

NAITA-Huawei ICT ඇකඩමිය, වර්තමාන ලෝකයේ සියලුම තොරතුරු සන්නිවේදන  තාක්ෂණයන් ආවරණය කරන එකම සහතික කිරීමේ පද්ධතිය වන  Huawei’s certification system සමඟ විදුලි සංදේශ ක්‍ෂේත්‍රයේ තරුණ තරුණියන්ට hardware installation කුසලතා සමඟ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව වැඩි දියුණු කිරීමට තවදුරටත් දායක වනු ඇත.

Share

You may also like...