Dell හවුල්කාරීත්ව ව්‍යාපාර සමුළුවේදී Softlogic IT සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ විසඳුම් සම්පාදකයකු වන සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නොලජීස් (Softlogic Information Technologies) විසින් පසුගියදා අවසන් වූ, ආසියානු නැගී එන වෙළඳපල සඳහා වූ Dell හවුල්කාරීත්ව ව්‍යාපාර සමුළුවේදී සුවිශේෂී සම්මාන ද්විත්වයක් ජයග්‍රහණය කරනු ලැබීය. මෙම සම්මාන උළෙල මාර්ගගත ආකාරයට පසුගියදා පැවැත්වුණු අතර, එහිදී සොෆ්ට්ලොජික් IT විසින් Dell පාරිභෝගික විසඳුම් සඳහා හොඳම හවුල්කරුවාට හිමි සම්මානය සහ දත්ත මධ්‍යස්ථානය සහ ගණනය කිරීම් (Data Center and Compute) සඳහා හොඳම හවුල්කරුවාට හිමි සම්මානය ජයග්‍රහණය කරන ලදී.

මෙම සම්මාන ජයග්‍රහණය තුලින්  සොෆ්ට්ලොජික් IT විසින් දේශීය වෙළඳ පොළ වෙත ඉදිරිපත් කර ඇති Mouse සිට Cloud දක්වා වූ අද්විතීය තාක්ෂණික විසඳුම් සම්පාදකයා ලෙස, වෙළඳ පොළ තුළ සිය ආධිපත්‍ය සහ අඛණ්ඩ පාරිභෝගික විශ්වාසය නැවතත්  තහවුරු කිරීමට සමත් විය.

දශක දෙකකට වැඩි කාලයක සිට Dell ශ්‍රී ලංකා සඳහා වූ එකම  ටයිටේනියම් මට්ටමේ හවුල්කරු ලෙස සොෆ්ට්ලොජික් විසින් දේශීය තොරතුරු තාක්ෂණ අවශ්‍යතා මැනවින් හඳුනා ගනිමින්, වෙනස්වන වෙළඳ පොළ අවශ්‍යතා රැසක් සඳහා  විවිධ තාක්ෂණික විසඳුම් ඉදිරිපත් කරමින් සිටියි. සොෆ්ට්ලොජික් IT සිය Dell නිෂ්පාදන සම්බන්ධයෙන් දිවයින පුරා  පාරිභෝගික විශ්වාසය සුරකමින් ඉතා විශ්වාසදායක සේවා ගිවිසුම් සහ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවාව, වගකීම් කාලය ඇතුළු විවිධ සේවා රැසක් සපයමින් තරඟකාරී වෙළඳ පොළ ඉදිරියෙන්ම සිටින ආයතනයක්ද වේ. 

Dell හවුල්කාරීත්ව ව්‍යාපාර සමුළුව වාර්ෂිකව පැවැත්වෙන අතර, එහිදී Dell හි ඉහළ කාර්ය සාධනයට මුල්වූ හවුල්කරුවන් ඇගයීමට ලක් කරයි.

මෙම සම්මාන ජයග්‍රහණය පිළිබඳ සිය අදහස් දක්වමින්, සොෆ්ට්ලොජික් IT හි ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ රොෂාන් රසූල් මහතා මෙලෙස පවසා සිටියි. “ශ්‍රී ලංකාව තුළ Dell නිෂ්පාදන සඳහා වූ ප්‍රමුඛ හවුල්කරුවකු ලෙස සොෆ්ට්ලොජික් නාමය සනාථ කරමින් හිමි වූ මෙම සම්මාන පිළිබඳ අප බෙහෙවින් සතුටට පත් වනවා. Dell හා අපට පවතින්නේ වසර 28කට වැඩි දිගු කාලීන සම්බන්ධතාවයක්. මෙම දශක දෙකකට අධික විශ්වාසනීය සම්බන්ධතාවය හේතුවෙන් DELL නිෂ්පාදන සඳහා  ශ්‍රී ලංකාවේ එකම ටයිටේනියම් මට්ටමේ හවුල්කරු  යන නාමයෙන්ද අප පිදුම් ලැබුවා. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තොරතුරු තාක්ෂණ විසඳුම් සම්පාදකයකු ලෙස, සොෆ්ට්ලොජික් අප නිරතුරුවම උත්සහ කරනුයේ සෑම පුද්ගලයකුටම, ව්‍යාපාරයකටම සහ කර්මාන්ත ක්ෂේත්‍රයක් තුළටම තාක්ෂණය ඒකාබද්ධ කිරීම කෙරෙහියි”.

මෙහිදී අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් IT හි විකුණුම් හා අලෙවි අධ්‍යක්ෂ සිදන්ත පීරිස් මහතා මෙලෙස පවසා සිටියි. “ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කිරීමේ අරමුණ වෙත සහයෝගය දක්වමින්,  ලොව ප්‍රමුඛතම සන්නාමයක් වන DELL හා අත්වැල් බැඳ ගැනීමට හැකිවීම පිළිබඳ අප සතුටට පත් වනවා. විවිධ ආයෝජන හරහා Dell  සමඟ කටයුතු කරමින්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා අප විවිධ වැඩසටහන් රාශියක්ද ක්‍රියාත්මක කර ඇති අතර,   පාරිභෝගිකයින් වෙනුවෙන් විකුණුම්, අලෙවියෙන් පසු සේවා සහ අසමසම පාරිභෝගික සේවා යන සියල්ල ලබාදීම කෙරෙහි අප කැපවී සිටිනවා.  

සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් හි අනුබද්ධිත සමාගමක් වන, සොෆ්ට්ලොජික් ඉන්ෆෝමේෂන් ටෙක්නොලජීස් ආයතනය, ඩෙක්ස්ටොප්, නෝට්බුක්, ග්‍රැෆික් වර්ක් ස්ටේෂන්ස්, සර්වර්ස්, ඩේටා සෙන්ටර්ස්, Cloud ප්ලැට්ෆෝම්ස් සහ ආරක්ෂණ විසඳුම් සැපයීම සඳහා නම් දරා ඇති ලොව ප්‍රමුඛ සමාගමකි. ශ්‍රී ලංකාව තුල වර්ධනය වෙමින් පවතින තොරතුරු තාක්ෂණ අවශ්‍යතා සඳහා විසඳුම් සැපයීමට සොෆ්ට්ලොජික්  IT, Dell හා එක්ව ක්‍රියා කරයි. පසුගිය වසර කිහිපයක කාලය තුළ සොෆ්ට්ලොජික් IT විසින් සිය අද්විතීය මෙහෙයුම් කාර්යසාධනය උදෙසා සම්මාන රැසක් හිමිකර ගෙන ඇත. දිවයින පුරා විසිරුණු සොෆ්ට්ලොජික් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිත ජාලය හරහා ඉහළ වගකීම් කාලයකින් යුත් නිෂ්පාදන මිලදී ගැනීමේ හැකියාව පාරිභෝගික ඔබ සැමට හිමිවේ.

Share

You may also like...