62 වසරක අභිමානවත් ගමන් මග සමරන FHA

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා වසර 62කට අධික කාලයක් කැපවී ක්‍රියා කල ආයතනයක් වන ශ්‍රී ලංකාවේ  බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය (FHA Sri Lanka) රටෙහි මූල්‍ය පද්ධතියේ සංවර්ධනය උදෙසා විශාල කැපකිරීමක් සිදු කරන ආයතනයකි. දේශීය ආර්ථික වර්ධනය උදෙසා විශාල දායකත්වයක් සපයන බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රය විධිමත්ව නියාමනය කිරීමේ අරමුණ ඇතුව වර්ෂ 1958 දී ආරම්භ කළ මෙම සංගමය අද වන විට රටේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය සඳහා විශාල කැපකිරීමක් සිදු කරයි. බලපත්‍රලාභී නොවන, කිසිඳු නියාමනයක් නොමැති බැංකු නො වන මූල්‍ය ආයතන මගින් රටේ මූල්‍ය පද්ධතියට වන දැඩි හානිය වළක්වා ගැනීම සහ මහජනතාවට බියෙන් සැකෙන් තොර සිය ආයෝජනයන් හා වෙනත් මූල්‍ය ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීම මෙම සංගමයේ ප්‍රධාන අරමුණ වේ.

පසුගියදා පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මෙම සංගමය පවසා සිටියේ තව දුරටත් බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රය තුළ නියාමකයකු ලෙස ක්‍රියාකරමින් විධිමත් මූල්‍ය පද්ධතියක් තුළින් මහජනතාව සවිබල ගැන්වීම සඳහා ඔවුන් කැපවී ක්‍රියා කරන බවයි. මෙහිදී ආචාර ධර්මානුකූල, විධිමත් හා කාලෝචිත මූල්‍ය ප්‍රතිපත්ති වල වැදගත්කම ඔවුන් විසින් අවධාරණය කරන ලදී. 

මෙම සංගමයේ නීතී හා අනුකූලතා කමිටුව සහ මානව සම්පත් සංසදය විසින් මෙහි සාමාජික සමාගම් උදෙසා සිය ගැටළු, නව ප්‍රවණතා සහ අදහස් පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමට ඉඩ කඩ සළසයි. මෙහිදී සාමාජික සමාගම් විසින් මූල්‍ය පද්ධතියේ ප්‍රගතිය උදෙසා වන විශාල කරුණු කාරණා රැසක් එකි නෙකා හා සාකච්ඡා කිරීම සිදු කරනු ලබයි. තවද බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රය තුළ තිබෙන බලපත්‍රලාභී ආයතන නියෝජනය කරමින් විටින් විට මහ බැංකුව ඇතුළු මූල්‍ය පද්ධතියේ විවිධ කොටස් කරුවන් සමඟ නිතරම සාකච්ඡා සිදු කරමින් රට තුළ යහපත් මූල්‍ය පද්ධතියක් නිර්මාණය කිරීමෙහිලා මොවුන් කැපවී ක්‍රියා කරයි. එක් කොට්ඨාසයකට පමණක් සීමා නොවී රටේ ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාවය වර්ධනය කිරීම උදෙසා විවිධ සමාජ ක්‍රියාකාරකම්, ලියාපදිංචි වූ  මූල්‍ය සමාගම්වල ධනාත්මක ප්‍රතිරූපය වර්ධනය කිරීම සඳහා වූ කාර්ය මණ්ඩල පුහුණු කිරීමේ වැඩසටහන් ඇතුළු විවිධ ව්‍යාපෘති ගණනාවක් මෙම සංගමය විසින් මෙහෙයවනු ලබයි. 

ලියාපදිංචි වූ මූල්‍ය සාමාගම් ක්ෂේත්‍රය තුළින් රටේ ආර්ථිකයට විශාල මෙහෙවරක් සිදු කරනු ලබයි.  විශේෂයෙන්ම බස්නාහිර පළාතෙන් ඔබ්බෙහි වූ අනිකුත් සියළුම පළාත්වල වෙසෙන මහජනතාවගේ දෛනික ණය අවශ්‍යතා වලින් රැසක් ඉටු කරනු ලබන්නේ ලියාපදිංචි මූල්‍ය සමාගම් විසින්ය.  දුෂ්කර පළාත්වල වෙසෙන අපේම ජනතාවට ඕනෑම ආකාරයේ ණය අවශ්‍යතාවයකට පහසුවෙන්ම ළඟා විය හැකි සේවාවන් රැසක් ලියාපදිංචි වූ මූල්‍ය සාමාගම් විසින් සපයනු ලබයි. අවම ලියකියවිලි භාවිතයෙන් ඉතා කඩිනම් සේවාවක් ලබා දීමට මෙම ආයතන සමත් වී ඇති අතර, මින් අද වන විට ඉහළම ප්‍රතිලාභ ලබන්නේ දහසකුත් වූ කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් සහ ව්‍යවසායකයින්ය.   

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමයේ (FHA) වර්තමාන සභාපති ආර් එච් අබේගුණවර්ධණ මහතා මෙසේ පවසා සිටී.  “බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රය තුළ නියාමකයා ලෙසින් කටයුතු කරන FHA නිරතුරුවම උත්සහ කරනුයේ සියළුම ශ්‍රී ලාංකිකයින්ට ඉතා පහසුවෙන් සහ විශ්වාසදායී ලෙස සිය ගණුදෙනු සිදුකල හැකි විධිමත් මූල්‍ය පද්ධතියක් රට තුළ නිර්මාණය කිරීමයි.  රටේ ආර්ථිකය සඳහා කැපී පෙනන දායකත්වයක් සපයමින්, ඒක පුද්ගල අදායම වර්ධනය කිරීම උදෙසා ව්‍යවසායකයින්,  කුඩා ව්‍යාපාරිකයින් ඇතුළු දහස් ගණනක් ජනතාව වෙත විධිමත් ලෙස සිය මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා විශාල අවකාශයක් බලපත්‍රලාභී  මුල්‍ය ආයතන අද වන විට සපයනවා. 

විධිමත් බැංකු පද්ධතිය තුළින් විවිධ හේතුන් මත බැහැර කරන පාරිභෝගිකයා උදෙසා වඩාත් සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කිරීම බලපත්‍රලාභී  මූල්‍ය ආයතන මගින් සිදු කරනු ලබන අතර,  රටේ සියලු දෙනාටම ඕනෑම මුල්‍ය අවශ්‍යතාවයක් සඳහා ප්‍රවේශ විය පරිසරයක් බලපත්‍රලාභී  මුල්‍ය ආයතන විසින් නිර්මාණය කර අවසන්.  වර්තමානය වන විට අපේ ප්‍රධාන ගණුදෙණුකරුවන් වන්නේද රටේ දිළිඳු ජන කොට්ඨාසයයි. බලපත්‍රලාභී මූල්‍ය ආයතන විසින් සියලුම ජන කොට්ඨාසයන්ට ගැළපෙන පරිදි ඔවුන්ගේ අවශ්‍යතාවයන්ට අනුකූලව පෞද්ගලික ණය,  ත්‍රී රෝද රථ ණය, ට්‍රක් සඳහා වූ ණය,  ගොවිතැන සඳහා වූ ණය,  වාණිජ වාහන මිලදී ගැනීම සඳහා වූ ණය,  කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා වූ ණය ඇතුළු වර්ග රැසක ණය සේවා සපයයි. නවීන මූල්‍ය සේවා මහජනතාව වෙත හඳුන්වා දීමේ ප්‍රමුඛයින් ලෙසද බලපත්‍රලාභී  මුල්‍ය ආයතන අද වන විට ප්‍රසිද්ධයි”. 

ශ්‍රී ලංකා ආර්ථිකය තුළ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බැංකු නොවන මූල්‍ය අංශය වර්ෂ 2013 හි රුපියල් බිලියන 622ක සමස්ථ වත්කම් ප්‍රමාණයකට හිමිකම් කියන ලදී. ඉන් වසර හයකට පසු සමස්ථ වත්කම් ප්‍රමාණය ට්‍රිලියන 1.390ක් දක්වා වර්ධනය විය.  මෙම කාල වකවානුව තුළ බලපත්‍රලාභී මුල්‍ය ආයතන විසින් සපයන ලද සමස්ථ ණය ප්‍රමාණය බිලියන 471 සිට ට්‍රිලියන 1.066 ක් දක්වා වර්ධනය වීම ඉතා සුවිශේෂී වේ.  අවුරුදු 60ක ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ බැංකු නොවන මුල්‍ය ක්ෂේත්‍රය අද වන විට මිලියන 7කට අධික පාරිභෝගිකයින් සඳහා සේවා සපයන අතර, මින් 57-60% ප්‍රමාණයක් ණය ගණුදෙනුකරුවන් වන අතර 40-43% ප්‍රමාණයක් තැන්පත්කරුවන් වේ. මීට අමතරව රටේ මානව සම්පත් වර්ධනය කිරීම උදෙසා විශාල කැප කිරීමක් සිදු කරන මෙම ක්ෂේත්‍රය අද වන විට 32,000 කට අධික සේවකයින් සඳහා රැකියා අවස්ථා සපයා ඇත. 

බැංකු නොවන මුල්‍ය ක්ෂේත්‍රය සඳහා ප්‍රධාන වශයෙන් අරමුදල් ගලා එන්නේ ප්‍රධාන මුලාශ්‍රයන් ත්‍රිත්වයක් ඔස්සේය.  එනම් මහජතාවගේ තැන්පතු (50%-55%),  ණය ගැනීම් (25% -30%) හා කොටස් හිමියන්ගේ ප්‍රාග්ධන මුදල් සම්භාරය (8% -12%) ය.  දැනට බැංකු නොවන මුල්‍ය ක්ෂේත්‍රය තුළ ලැයිස්තුගත සමාගම් 31ක් සහ ලැයිස්තුගත නොකල සමාගම් 8ක් පවතී.  කර්මාන්තයෙන් 85% ක්ම ආධිපත්‍යය ප්‍රධාන සමාගම් 16ක්  විසින් දරණ අතර, ඔවුන්ගේ සම්පුර්ණ වත්කම රුපියල් බිලියන 20 ඉක්මවයි. ඉතිරි 15% කොටස සෙසු සමාගම් 23 අතර බෙදී ඇත. 

අද වන විට රටේ විශාල ජන කොට්ඨාසයකට සේවා සපයමින් 1350කට අධික ශාකා ජාලයක් මෙම බැංකු නොවන මූල්‍ය පද්ධතිය විසින් මෙහෙයවනු ලබයි. ග්‍රාමීය මට්ටමේ සිට නාගරික මට්ටම දක්වා විහිදුණු මෙම ශාකා ජාලයන් හරහා විශාල පාරිභෝගිකයින් පිරිසක් සිය ජීවන තත්ත්වයන් උසස් කර ගැනීමෙහිලා ක්‍රියා කරයි.  මීට අමතරව පසු ගිය මූල්‍ය වර්ෂය තුළ රටේ ආරථිකය පණ ගැන්වීම උදෙසා රුපියල් බිලියන 16ක් ඍජු බදු ලෙස රජයට ගෙවා ඇත.

මෑතකදී සිදුවුණු නියාමනය නොකරන ලද මූල්‍ය සමාගම්වල සමහර අවිධිමත් සහ වංචනික ක්‍රියාවන් මගින් මහජනතාව ගැටළු රාශියකට මුහුණ පෑ බව සත්‍යකි.  මේ තුළින් නියාමනය කරන ලද මූල්‍ය සමාගම් පිළිබඳවද මහජනතාව අතර දැඩි කනස්සලක් ඇති වූ අතර ඔවුන්ගේ විශ්වාසය බිඳ වැටීමකට මෙය හේතු විය. ඉදිරියේදී මූල්‍ය සමාගම් විධිමත් කිරීම සඳහා ප්‍රායෝගික ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බව පැහැදිළිය.

මෙහිදී FHA සිය කාර්යභාරය ඉටු කරමින් යෝජනා කර සිටින්නේ ඉතාමත් ඉක්මනින් යෝජිත මූල්‍ය හා ක්ෂුද්‍ර මූල්‍ය  පනත (Moneylending and Microfinancing act)  බලාත්මක කිරීම සඳහා කටයුතු කරන ලෙසය. එමගින් එම පනත යටතේ ලියාපදිංචි නොවන කිසිඳු ආයතනයකට මහජනතාවට මූල්‍ය පහසුකම් ලබා දීමට නොහැකි වනු ඇත.  රට තුළ ක්‍රියාත්මක වන අනවසර මූල්‍ය ආයතන පිළිබඳව විමර්ශනය කිරීමට හා ක්‍රියාත්මක කිරීමට විශේෂ විමර්ශන ඒකකයක් ඇති කිරීම, බැංකු නොවන මූල්‍ය පද්ධතිය සඳහා විධිමත් මෙහෙයුම් පරිසරයක් නිර්මාණය කිරීම සහ හිතකර ප්‍රතිපත්ති සහ මූල්‍ය ප්‍රමිතීන් හඳුන්වා දීම, ආර්ථිකයට  සහ ප්‍රජාවන් සවිබල ගැන්වෙන නීතිමය රාමු ඇති කිරීමටද FHA සහයෝගය ලබා දීමට බලාපොරොත්තුවෙන් පසුවේ. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ  ලියාපදිංචි මූල්‍ය සමාගම් 39 ක නියාමකයා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය (FHA) පිළිබඳ වැඩිදුර විස්තර සඳහා http://www.fhalanka.lk/ වෙත පිවිසෙන්න.

Share

You may also like...