අපගේ අරමුණ වඩා හොඳ 4G අත්දැකීමක් ලබා දීමයි!”

හච් ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා

මෙම වසරේ පෙබරවාරි මාසයේදී දිවයින පුරා ව්‍යාප්ත සිය දැවැන්ත හා සමීප 4G ජාල ආවරණය සම්පූර්ණ කිරීමත් සමගම, හච් සන්නාම පැවැත්ම වැඩිදියුණු කිරීමටත්, 2G, 3G සහ 4G ජාල ආවරණය සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන මෙහෙයුම්කරුවකු වශයෙන් ශ්‍රී ලංකාව පුරාම විසිරී සිටිනා සෑම සමාජ මට්ටමකම පාරිභෝගිකයින්හට ගැලපෙන පුළුල් පරාසයක නව්‍යතම  සන්නිවේදන විසඳුම් පෙළක් සමග තවදුරටත් ස්ථාපිත වීමට, හච් සූදානම් වේ. ඉකුත් වසරේ එටිසලාට් හා ඒකාබද්ධ වීමෙහි ප්‍රතිඵලයක් වශයෙන් සමාගමේ කැපී පෙනෙන පුනර්ජීවනයක් ඇති වුණු අතර,‍් හොංකොං හි CK හචිසන් අනුබද්ධ දේශීය සමාගම, ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ සන්නිවේදන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් ඉතා ශක්තිමත් කාර්ය භාරයක් ඉටු කරමින් සිටියි.

හච්වෙළඳ නාමය යටතේ සිය මෙහෙයුම් ක්‍රියාත්මක කරන, හචිසන් ටෙලිකොමියුනිකේෂන්  (පුද්) සමාගම, වත්මන් සන්නිවේදන සීමා බිඳ දමමින් පාරිභෝගිකයින් එදිනෙදා ජීවිතයේදී මුහුණ දෙන ගැටලුවලට සැබෑ විසඳුම් ලබා දීමට සමත් වේ.

එවැනි පසුබිමක, හච් ප්‍රධාන විධායක නිලධාරි තිරුකුමාර් නඩරාසා මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවක් පහත පළ වේ. එම සාකච්ඡාවේදී ඔහු සමාගමේ ජාල ආවරණය දීප ව්‍යාප්තව පුළුල් කිරීම සහ හච් තම පාරිභෝගිකයින් හට හොඳම ජංගම දුරකතන සන්නිවේදන අත්දැකීම් ලබා දීමට සහය වන ආකාරය විස්තර කරයි.

එටිසලාට් ඒකාබද්ධ කිරීමෙන් පසුව හච් ජාල ආවරණය පුළුල් කර ඇති ආකාරය හා එහි නවතම ආයෝජන සිදු කරන ආකාරය කෙසේද?

මෙම ඒකාබද්ධ වීම මගින් ආවරණය සහ ධාරිතාව යන කරුණු  ද්විත්වය සම්බන්ධයෙන්ම වඩාත් විශාල ජාල යටිතල ව්‍යුහයක් සඳහා, හච් ප්‍රවේශය එක රැයකින් ලබා දීමට අවස්ථාව සැලසුණා. ඊට පෙර ළඟා වීමට නොහැකි වූ සම්පූර්ණ පාරිභෝගික පදනමක් වෙත ළඟා වීමට එමගින් අපට ඉඩ ලැබුණු අතර, සන්නිවේදන අවශ්‍යතා හඳුනා ගන්නා සන්නාමයක් සොයන, ඩේටා පිපාසාවෙන් පෙළෙන ජනතාව වෙනුවෙන් සේවාව සැලසීමට එමගින් අපට අවකාශ සැලසුණා.

අපගේ,‍් ජවසම්පන්න හා කාර්යයෙහි කැපවූ ඉංජිනේරුවන් සහ තාක්ෂණික සහාය කාර්ය මණ්ඩලය 2G සහ 3G ජාල දෙකම ඒකාබද්ධ කිරීමට පමණක් නොව, උසස්ම 4G ජාලයක් එක් කිරීමට ද කටයුතු කළා. ඒ හේතුවෙන් මෙම දැවැන්ත කාර්යය මාස 12 ක් වැනි කෙටි කාලයක් තුළදී සම්පූර්ණ කිරීමට අපට හැකි වුණා. ජාල ඒකාබද්ධ  කිරීම මගින් එටිසලාට් සතුව පැවති සම්පත් ඒකරාශි කරමින් දිවයින පුරා දුරකතන කුලුණු 2000 කට අධික ප්‍රමාණයක් මත නවතම 4G ආවරණයක් යෙදවීමට අපට හැකි වුණා.

2014 වසරේ සිට ශ්‍රී ලංකාවේ 4G සම්බන්ධතාව පැවතියත් ජංගම ග්‍රාහකයින්ගෙන් 40% ක් පමණක් එම සබඳතාව ලබා ගන්නා ශ්‍රී ලංකාවේ තවමත් විශාල වශයෙන් 4G භාවිතා කිරීම සිදු වන්නේ නැහැ. මෙම මන්දගාමීත්වයට හේතු වශයෙන් මිල අධික 4G ජංගම දුරකතන හා උපාංග සහ 4G සේවාවන් භාවිතා කිරීමේදී දැරිය යුතු අධික පිරිවැය ඇතුළුව හේතු කිහිපයක් වෙනවා. මෑතදී පාරිභෝගිකයින් හට දැරිය හැකි 4G හෑන්ඩ්සෙට් වෙළෙඳ පොළට පැමිණීමත් සමග, අපගේ කාර්යය වී තිබෙන්නේ, පාරිභෝගිකයින්ට සෑම අංශයකින්ම ඩිජිටල් ප්‍රවේශයක් ලබා දීම සහ මුළු රටටම දැරිය හැකි 4G බ්‍රෝඩ්බෑන්ඩ් අත්දැකීමක් ගෙන ඒමයි.

හච් 4G වඩා හොඳ අත්දැකීමක් වන්නේ ඇයි?

පසුකාලීනව වෙළඳ පොළට පැමිණීමේ වාසියක් විදිහට නවීනතම හා වඩාත්ම දියුණු 4G තාක්‍ෂණය රට තුළට යෙදවීමට අපට හැකි වුණා. දීප ව්‍යාප්තව පුළුල් කළ ආවරණයට අමතරව, හච් විසින් වඩාත් දියුණු මූලික ජාල සහ බිල් පද්ධති ක්‍රියාත්මක කර තිබෙනවා. මෙයින් අදහස් කරන්නේ දිනෙන් දින ඉහළ යන දත්ත පරිභෝජන අවශ්‍යතාවන්ට සහාය වෙමින් හච් විසින් සලසන සේවාවේ ගුණාත්මකභාවය වඩා ඉහළ අගයක් ගන්නා බවයි. 2G සහ 3G ජාල ඇතුළුව සමස්ත හච් ජංගම දුරකථන ජාලයම, ඒකාබද්ධ කිරීමේ කොටසක් ලෙස නවීකරණය කර ඇති අතර එමගින් වඩා හොඳ සේවාවක් සැලසීමට හච් වෙත හැකියාව ලැබී තිබෙනවා.

4G වැනි තාක්‍ෂණය ස්ථාපිත කරන විට, තාක්ෂණය වඩාත් දියුණු වනවා පමණක් නොව, උපකරණවල පිරිවැය ද අඩු වන අතර, එයින් අදහස් කරන්නේ එමගින් ලැබෙන අතිරික්ත පිරිවැය පාරිභෝගිකයා වෙත ලබා දිය හැකි බවයි! එබැවින් අපට වඩාත් පහසු මිලකට සබඳතාව ලබා ගත හැකියි.

මේ වන විට අපගේ ජාලය වසරකට පෙර පැවති තත්ත්වයට වඩා විශාල වන අතර ආවරණය වැඩි දියුණු කර ඇති නිසා, පාරිභෝගිකයින්ට වඩා හොඳ 4G අත්දැකීමක් පමණක් නොව රට පුරාම 2G සහ 3G අත්දැකීමක්ද ලබා දීමත් හැකි වී තිබෙනවා.  

කොවිඩ් වසංගතය හේතුවෙන් නිවෙස් තුළට වී සිටි කාලය ඇතුළත පෙර නොවූ විරූ පරිදි ඩේටා භාවිතයේ වර්ධනයක් සිදු වුණා. ඒ වන විටත් අපගේ ජාල ව්‍යාප්තිය සම්පුර්ණ කර තිබීම අපට වාසනාවට කරුණක් වුණා. එවැනි කරුණු හේතුවෙන් අපගේ ගනුදෙනුකරුවන්ට ස්ථාවර සහ විශ්වාසදායක අත්දැකීමක් ලබා දීමට අපට හැකි වුණා.

HUTCH මගින් පිරිනමන ඩේටා පැකේජවල සුවිශේෂත්වය කුමක්ද? එමෙන්ම, මෑතකදී දියත් කරන ලද නව නිෂ්පාදන මොනවාද?

කොවිඩ් 19 වෛරසය මැඩපැවැත්වීම සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළ කාල පරිච්ඡේදය තුළ, අපගේ හච් නිෂ්පාදනවල වෙනස්කම් සිදු කිරීමට සහ මිල නිර්ණය කිරීමේ උපාය මාර්ගික ක්‍රම වෙත කඩිනමින් යොමුවීමට පියවර ගැණුනා. එම තීරණ නිවසේ සිට රාජකාරී කිරීමේ ක්‍රමවේදය හා මනාව ගැලපුණා. ඒ වගේම  අපගේ පාරිභෝගිකයින්ට ඇමතුම් මගින්,‍් එස්.එම්. එස් මගින් සිය ආදරණීයයන් හා සම්බන්ධතාව පවත්වා ගැනීමට නොමිලේ දෛනිකව රීලෝඩ් පිරිනමමින් මිලියන 1.5 ක පාරිභෝගිකයින් පිරිසකට සේවාව සැලසුණු “Freemium” දීමනාව අප හඳුන්වා දුන්නා. සුපුරුදු පරිදි රීලෝඩ් දැමීමේ අවකාශ ඇහිරුණු අවස්ථාවක මෙම දීමනාව එවැනි දීමනාවක් ඉතාමත් වැදගත්.

 ඒ වගේම, හච් කියන්නේ පාරිභෝගිකයින් හට සේවාවන් සලසන සන්නාමයක්. අපි ගනුදෙනුකරුවන් වෙනුවෙන් කටයුතු කරන අතර ඔවුන්ගේ දුක්ගැනවිලි වලටත් අපි කන් දෙනවා. ඔවුන්ගේ අපතේ යන නයිට් ටයිම් ඩේටා සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගේ කණස්සල්ල අපි දුටුවා. ඊට පෙර අපි නයිට් ටයිම් ඩේටා භාවිත කළ හැකි කාල සීමාව සෑම දිනකම පෙ.ව. 9.00 දක්වා දීර්ඝ කරමින් මේ ගැටලුව විසඳීමට කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන්‍,‍් හච් පාරිභෝගිකයින් හට ඔවුන්ගේ ඩේටා ප්‍රමාණයෙන් 70% ක් දක්වා භාවිත කිරීමට හැකියාව ලැබුණා. ඒ වගේම, වෙළෙඳ පොළ ප්‍රථමයා බවට පත් වෙමින්, කාල සීමාවක් නොමැතිව හච් 100% එනිටයිම් ඩේටා පැකේජ හඳුන්වා දීමටත් හච් පියවර ගත්තා.

අතිශයින්ම ජනප්‍රිය මුළු මාසයක් සඳහා වලංගු Unlimited YouTube පැකේජය අපි හඳුන්වා දී තිබෙන්නේ, රු. 147 ක මුදලකටයි! මෑතකදී අපි සම්පූර්ණ දින 30 ක් සඳහා වලංගු Facebook/Messenger/WhatsApp පැකේජය හඳුන්වා දුන්නේ රු. 124 කටයි.

අපගේ cliQ යෙදවුම ඉතා ජනප්‍රිය බව ඔප්පු වී ඇති නමුත් මීට පෙර එය පැවතුණේ 3G ජාලයේ පමණයි. ඒත් අපි දැන් අපගේ නවතම cliQ යෙදවුම 4G ජාලය මත දියත් කර තිබෙනවා.

ඉතා මෑතකදී වෙළෙඳ පොළේ ප්‍රථම වතාවට off net මිනිත්තු හා එනිටයිම් ඩේටා ඇතුළත්ව දත්ත, ඇමතුම් හා එස්. එම්. එස් පැකේජ අප විසින් හදුන්වා දෙනු ලැබුවා.

මේ වන විට සියලු පූර්ව අවශ්‍යතා ක්‍රියාත්මක වන නිසා, සෑම පාර්ශවයකට සේවාව ලබා දීම සඳහා හච් වඩාත් හොඳින් ස්ථාපිත වී ඇති බවට අපි විශ්වාස කරනවා.

ගනුදෙනුකරුවන් නවතම දැවැන්ත හා  සමීප හච් ජාලය කෙරෙහි ප්‍රතිචාර දක්වන්නේ කෙසේද?

අපගේ ඒකාබද්ධ කළ ජාලය නැවත දියත් කළ දින සිටම අපගේ දැවැන්ත හා සමීප ජාලයට සහ අපගේ ගෙවන මුදලට විශාල වටිනාකමක් ගෙන දෙන නිෂ්පාදන හා සේවා සම්බන්ධයෙන් විශාල ප්‍රතිචාර අත් වෙනවා. ඒ වගේම, සෑම දිනකම වැඩි ග්‍රාහකයි පිරිසක් හච් සමඟ සම්බන්ධ වීම සතුටට කාරණයක්. දිනෙන් දින වර්ධනය වන ග්‍රාහක පදනම, ජංගම දුරකථන සැපයුම්කරුවෙකුගෙන් පාරිභෝගිකයින් අපේක්ෂා කරන කාරණා වන, දැරිය හැකි මිල හා හොඳම ජංගම දුරකතන අත්දැකීමක් සැපයීමට අප සමත් වී ඇති බවට හොඳම සාක්ෂියක්. පාරිභෝගිකයින් පිළිබඳ අඛණ්ඩ සංවේදනයෙන් යුතුව, සැබෑ වෙනසක් ඇති කරන නවෝත්පාදන මගින් ජාතිය සවිබල ගැන්වීම අපි අඛණ්ඩව සිදු කරනවා.

අනාගතය සඳහා ඔබේ සැලසුම් මොනවාද?

මිනිසුන්ගේ සැබෑ හා වර්තමාන අවශ්‍යතා සපුරාලීමට නොහැකි නම් තාක්‍ෂණයට එතරම් වටිනාකමක් නැති බව අපි හැමවිටම විශ්වාස කරනවා. අපගේ අරමුණ රටේ සෑම පුරවැසියකුටම අපගේ සේවාවන් වෙත ප්‍රවේශ වීමේ හැකියාව සැලසීමයි. එම අරමුණ සිතෙහි රඳවා ගෙන හච් කණ්ඩායම හුදෙක් අලෙවිකරණ ක්‍රමෝපායන් පිළිබඳ පමණක් අවධානය යොමු නොකර,‍් පාරිභෝගිකයින් හට වැදගත් වන නව නිෂ්පාදන පිළිබඳ අවධානය යොමු කරනවා.

ඒ හා සමානව වැදගත් කාරණයක් නම්, සියලුම ග්‍රාහකයින්ට අඛණ්ඩ ජංගම දුරකතතන සන්නිවේදන අත්දැකීම ලබා දීම සහතික කිරීම සඳහා හච් දක්වන කැපවීමයි. ලොව පුරා සෑම ජංගම දුරකථන ජාලයක්ම පාහේ මුහුණ දෙන ප්‍රධාන ගැටලුවත් පාරිභෝගිකයින් හට අඛණ්ඩ සැපයුම ලබා දීමේ කාරණයයි. බොහෝ අවස්ථාවන්වල, 3G සහ 4G බ්‍රෝඩ්බෑන්ඩ් දත්ත ජාලයන්හි පවතින සුවිශාල දත්ත ඉල්ලුම නිසා, දත්ත හුවමාරුව වැඩී වී ජාලයේ සියලුම ග්‍රාහකයින් සඳහා අඛණ්ඩ සබඳතාව ඇණ හිටීමට පටන් ගන්නවා. මේ කාරණය සැලකිල්ලට ගෙන, ඉදිරියේදී අඛණ්ඩ දත්ත සැපයුමක් අත්විඳිය හැකි බව සහතික කිරීම සඳහා වඩාත් කාර්යක්ෂම හා පුළුල් කළමනාකරණ ක්‍රියාවලියක් හච් ස්ථාපිත කර තිබෙනවා.

5G සඳහා ඔබගේ සැලසුම් ගැන කුමක් කිව හැකිද?

හච් ශ්‍රී ලංකා, යුරෝපය සහ ආසියාව පුරා සන්නිවේදන ඇතුළු මෙහෙයුම් ක්‍රියාත්මක කරන ගෝලීය CKH සමූහ ව්‍යාපාරයේ කොටසක් වන අතර, මේ වන විටත් 5G ජාල සහ සේවා ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුමක නිරතව සිටිනවා. හච් ලොව පුරා 5G සංවර්ධන කටයුතු අඛණ්ඩව අධීක්‍ෂණය කළත්, ශ්‍රී ලංකාව තුළ පූර්ණ වශයෙන් 5G සේවා දියත් කරන්නේ, දැනට පවතින 4G සේවාවට වඩා ඉහළ ඉල්ලුමක් පවතින අවස්ථාවක පමණයි.

මේ වන විටත් ගෝලීයව සහ දේශීයව 5G දියත් කිරීම පිළිබඳව විශාල විවාදයක් පවතිනවා. 5G පිළිබඳව ක්ෂේත්‍රය තුළ බොහෝ ප්‍රවණතා පැවතියත්,‍් 5G ජාලයකට විශාල වශයෙන් ආයෝජනය කිරීම සාධාරණීකරණය කිරීමට තරම් ප්‍රමාණවත් පරිශීලක අවශ්‍යතාවන් තවමත් හඳුනාගෙන නැහැ. ‘4G ජාලයක් මගින් සපුරා ගත නොහැකි සන්නිවේදන අවශ්‍යතා මොනවාද, යන්න හා වැඩි දියුණු කළ 5G ජාලයක ආයෝජනය කිරීමට එම අවශ්‍යතා ප්‍රමාණවත්ද?’ යන ප්‍රශ්නය මම නිතරම විමසනවා.

5G ජංගම දුරකතන හා උපාංග මෙන්ම 5G විශේෂිත යෙදවුම් පහසු මිලට ලබා ගත නොහැකි විටක, නැවතත් පාරිභෝගිකයින්ට දැරිය හැකි මිල පිළිබඳ ප්‍රශ්නය මතු වෙනවා. හච් මව් සමාගම සතුව 5G ජාලය දියත් කිරීමට අවශ්‍ය සියලු අත්දැකීම් තිබෙනවා. ඒ වුණත්, ශ්‍රී ලාංකික පාරිභෝගිකයින් හට 5G සබඳතාව අවශ්‍ය වන්නේ කවදාදැයි අපි මුලින්ම සොයා බැලිය යුතුයි.

අවසාන වශයෙන්, හච් දියත් කළ 4G අත්දැකීම විඳ, ඔවුන්ගේ සන්නිවේදන අවශ්‍යතාවන් සපුරාලීමට අපට හැකියාව ඇත්දැයි තමන් විසින්ම අත්හදා බලන ලෙස, ශ්‍රී ලංකාවේ සියලුම ජංගම දුරකතන ග්‍රාහකයින් හට මම ඉතාමත් සතුටින් ආරාධනා කර සිටිනවා.

Share

You may also like...